Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් - චමිඳු තීරණාත්මක සම්බන්ධතාවක

අශාන් - චමිඳු තීරණාත්මක සම්බන්ධතාවක

editorial - 2022 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවය යළි යළිත් සනාථ කරමින් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක අඛණ්ඩ වූත්, තීරණාත්මක වූත් සම්බන්ධතාවක් ගොඩනැංවූ අශාන් ප්‍රියන්ජන් (නොදැවී 52) සහ චමිඳු විජේසිංහ (නොදැවී 71) දෙදෙනා අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ අවසන් මහ තරගයේ තුන්වැනි දිනය වූ අද (19 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට, කඩුලු 5 කට 411 ක් දක්වා සී.සී.සී. කණ්ඩායම කැඳවාගෙන ගියහ.

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ද්‍රවිඩ සංගම් කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 588 ක් ලබාගත්තේය. ද්‍රවිඩ සංගම් පිලේ අරමුණ වූයේ නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව ගැන නොසිතාම, මුල් ඉනිමේදී හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ගොඩගසා ගනිමින්, සී.සී.සී. පිල පීඩනයට ලක් කිරීමයි.

ද්‍රවිඩ සංගම් මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව අනුව, පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් සී.සී.සී. පිල ලකුණු 388 ක් ලබාගත යුතුව තිබිණ.

පස්වැනි කඩුල්ල ලකුණු 288 දී බිඳ වැටීමෙන් පසුව තරගයේ ග්‍රහණය දැඩිකර ගැනීමට ද්‍රවිඩ සංගමයට තවත් ලකුණු 100 ක පමණ වාසියක් තිබූ නමුත්, නායක අශාන් ප්‍රියන්ජන් සහ චමිඳු විජේසිංහ එක්ව ද්‍රවිඩ සංගමයේ බලාපොරොත්තු සුන් කළහ. මෙම සම්බන්ධතාව අතරේ, හතරේ පහර වෙනුවෙන් දෙදෙනාගේ සම්මාදම 13 කි.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් පවා නියෝජනය කර ඇති අශාන් ප්‍රියන්ජන් පළමු පෙළ ලකුණු 8000 ඉක්මවා ලබාගෙන ඇති ප්‍රවීණ පිතිකරුවෙකි. ඔහුගේ පළමු පෙළ ශතක සංඛ්‍යාව 12 කි. තවමත් 22 හැවිරිදි චමිඳු විජේසිංහ ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කර ඇති, සුවිශේෂ යමක් කිරීමට මාන බලමින් සිටින පිතිකරුවෙකි.
 
මුල් ඉනිමේ වාසිය අත්කරගැනීම සඳහා සී.සී.සී. පිලට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 177 කි. ඒ වෙනුවෙන් කඩුලු 5 ක් සී.සී.සී. පිල සතුව ඇතත් තරගයේ අවසන් දිනය වන හෙට දිනයේ පිතිහරඹය අනුව තරගයේ වාසිය දෝලනය වනු ඇත.

පසුගිය වසරේදීත් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ශූරතාව දිනාගත්තේ සී.සී.සී. ක්‍රීඩා සමාජයයි.


ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය - පළමු ඉනිම, සියලු දෙනා දැවී 558 යි
(නවෝද් පරණවිතාන 54, සධීර සමරවික්‍රම 188, රොන් චන්ද්‍රගුප්ත 48, සන්තුෂ් ගුණතිලක 15, කමේෂ් නිර්මාල් 16, දිලුම් සුධීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46, විශ්ව ප්‍රනාන්දු 102/4, ලක්ෂාන් සඳකැන් 128/4)

සී.සී.සී. - පළමු ඉනිම කඩුලු 5 ක් දැවී 411
(නිමේෂ් ගුණසිංහ 33, මිනෝද් භානුක 75, කමිඳු මෙන්ඩිස් 105, ලසිත් අබේරත්න 48, අශාන් ප්‍රියන්ජන් නොදැවී 52, චමිඳු විජේසිංහ නොදැවී 71, රවිඳු ප්‍රනාන්දු 81/3)


අදහස් (0)

අශාන් - චමිඳු තීරණාත්මක සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.