Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපේ පිටියේ සවිය සයුරෙන් එතෙරට
වොලිබෝල්

අපේ පිටියේ සවිය සයුරෙන් එතෙරට

editorial - 2021 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් හයක සහභාගීත්වයෙන් බංග්ලාදේශයේදී පැවැති මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක බංගලිදේශය තරග වට 3-0 ක් ලෙස පරදවමින් පිරිමි අංශයේ ශූරතාව  දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව අපරාජිතව එම ශූරතාව දිනාගැනීම විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාවේ පිරිමි වොලිබෝල් කණ්ඩායමක් අවසන් මහ තරගයක් ජයගත්තේ 2013 දී නේපාලයේ පැවැති දකුණු ආසියානු වොලිබෝල් ශූරතාව දිනාගැනීමෙන් පසුවය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් දස්කම් දකුණු ආසියාවේ සීමාවන් ඉක්මවා, මධ්‍යම ආසියානු කලාපය දක්වා විහිදුවාලීමකි. 

මෙම ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස් නාලක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඩකා නුවරදී දැක්වූ දක්ෂතාවල සෙවණැල්ල වූයේ ජනාධිපති රන් කුසලාන තරගාවලියේදී පෙරට පැමිණි යොවුන් ක්‍රීඩකයන්ගේ ජවය සහ හැකියාවන් බවයි. 

“මේ කණ්ඩායමට තවත් බොහෝ දුර යා හැකි බව මෙම තරගාවලියේ දැක්වූ දක්ෂතා වලින් මනාව පෙන්නුම් කළා.... ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලිය හරහා පෙරට පැමිණි යොවුන් ක්‍රීඩකයන්ගේ හැකියාවන් මෙහිදී කැපී පෙනුනා. ඒ අතරම ජාතික වොලිබෝල් තරගාවලියේ දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණි ක්‍රීඩකයන්ගෙන් මෙම තරගාවලියේදී ලැබුණු දායකත්වයත් සුළුවෙන් තකන්න බෑ“ 

“මධ්‍යම ආසියානු කලාපයේ ශූරයන් බවට පත්වීමට ශ්‍රී ලංකාව පැමිණි ගමනේ මුල මැද අග හැමතැනකම ඩයලොග් සමාගමත් සිටිනවා’’ යැයි ද නාලක මහතා පැවසීය. 

අවසන් මහා තරගයේ පළමු වටයේ එක් අවස්ථාවක ලකුණු 19-14ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි නමුත් කෙමෙන් ඉදිරියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පිට පිටම ලකුණු ලබමින් 22-22ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග කරට කර පිවිසියේය. තවත් අවස්ථාවක ලකුණු 26-25 ක් ලෙසින් ශ්‍රී ලංකාව අභිබවා තරග වටය ජයගැනීමේ ආසන්නයට පැමිනුණි. අවසානයේ මහේල ඉන්දීවරගේ මනරම් පහරකින් තරග වටයේ ජය ලකුණු 28-26 ක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගයේ දෙවැනි වටයේදී ලකුණු 07-01 ක් ලෙසින් වඩාත් හොඳ පරතරයක් සහිතව ශක්තිමත් ප්‍රවේශයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවද කෙමෙන් පරතරය අඩු කරගත් බංග්ලාදේශය  18-18 ක් ලෙසින් ලකුණු තත්ත්වය සමකළේය. එසේ වුවත්, පසුව, එම තරග වටයේ අවසන් කොටස සිය ග්‍රහණයට ගත් ශ්‍රී ලංකාව එම තරග වටය ද ලකුණු 25-20 ක් ලෙසින් ජයගත්තේය. 

තරගයේ තවදුරටත් රැඳී සිටීම පිණිස බංග්ලාදේශයට තුන්වැනි තරගය තීරණාත්මක විය. තෙවැනි  වටයේ මුල් අවස්ථාවේදී සිය උපරිම ශක්තිය යොදමින් ලකුණු 14-09 ක් ලෙසින් බංග්ලාදේශය ඉදිරියට පැනගත්තේය. එහෙත් බංග්ලාදේශය තවත් ලකුණු 02 ක් එකතුකරගන්නා අතරවාරයේ ලකුණු 07ක් රැස්කරගත් ශ්‍රී ලංකාව 16-16 ක් ලෙසින් නැවත වරක් තරග වටය සම කළේය. 

එතැන් සිට තරග වටයේ පසු කොටස සහමුළින්ම සිය ග්‍රහණයට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම තරග වටයේදීත් ලකුණු 25-20 ක ජයක් සමග ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත්හ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිඳු මෙත්මල් අසනීප තත්ත්වයක් යටතේ සිටියද මෙම තීරණාත්මක තරගයට සහභාගීවීම විශේෂ සිදුවීමකි.

21 හැවිරිදි මහේල ඉන්දීවර සහ 20 හැවිරිදි තරුෂ සමත්ගේ යොවුන් ජවය මෙම තරගය ජයගැනීමේ තීරණාත්මක සාධකයක් විය. 

“සත්කාරක රටකට එරෙහිව අවසන් මහා තරගයක් ජයගැනීමට ලෙහෙසි වැඩක් නෙමෙයි... අපි එතරම් ජාත්‍යන්තර ඇත්දැකීම් තිබුණ කණ්ඩායමක් නොවුනත් අපේ ඉතා හොඳ කණ්ඩායම් හැඟීම සහ විශාල අධිෂ්ඨානයක් තිබුණා... ඒ නිසායි අපට ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම මේ විදිහට පරාජය කිරීමට ලැබුණේ.“

“ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් සමාගම අපට දුන් ශක්තිය මේ මොහොතේ කිසිසේත් අමතක කරන්න බැහැ’’ යනුවෙන් ජයග්‍රහණයෙන් පසුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණඩායමේ නායක ලසිඳු මෙත්මල් පැවසීය. 

මධ්‍යම ආසියානු ශූරතාව දිනාගත් ජාතික වොලිබෝල් කණ්ඩායමේ නිල අනුග්‍රහකයා ලෙසින් ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි.

 

 

- 213


අදහස් (0)

අපේ පිටියේ සවිය සයුරෙන් එතෙරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.