Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය දිනති

ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය දිනති

editorial - 2022 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිඩ්නි පිටියේදී අද (19 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදීත් ලකුණු 72 ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඕස්ට්‍රේලියානුවෝ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ජයග්‍රහණය කල්තියාම අත්කර ගත්හ. තරග 3 කින් සමන්විත තරගාවලියේදී පළමු තරග දෙකම ජයගත් ඕස්ට්‍රේලියාව මේ වන විට ජයග්‍රහණ 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.

පසුගිය බ්‍රහස්පතින්දා ඇඩිලේඩ්හිදී පැවැති පළමු තරගයෙන් ද ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 6 කින් ජයගත්හ.

ඇඩිලේඩ් පිටියේදී නොදැවී ලකුණු 80 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් අද තරගයේදී ලකුණු 94 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානුවන්ට හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට පදනම දමා දුන්නේය. ලකුණු 43 ක්ව තිබියදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය නමුත් ස්ටීවන් ස්මිත් සහ මානස් ලැබුෂේන් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කළහ.

වරින් වර ඉතාමත් භයානක ආකාරයෙන් පන්දුව ඉහළ නැඟුණු තණතීරුවකදී ලකුණු 280 ක් යනු හොඳ ලකුණු සංඛ්‍යාවක් විය. මක්නිසාද යත් මෙවන් තණතීරුවක කණ්ඩායමක් අගාධයට ඇද දැමීම සඳහා අවශ්‍ය වන්නේ එක කඩුල්ලක ආරම්භයක් පමණක් වන බැවිනි.
 
තරගාවලිය සම කිරීමට ලකුණු 281 ක් හඹා ගිය එංගලන්තයට ලැබුණේ අතිශය භයංකාර ආරම්භයකි. සිය මුල්ම ඕවරයේදීම කඩුලු දෙකක් දවාගත් මිචෙල් ස්ටාක් එංගලන්තය එකම ලකුණක් හෝ ලබාගැනීමට පෙර කඩුලු දෙකක් දවාගත්තේය.

එංගලන්තය වෙනුවෙන් සෑම් බිලින්ග්ස් (71) සහ ජේම්ස් වින්ස් (60) සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 122 ක සබඳතාවක් ගොඩනැංවූ නමුත් ලකුණු සංඛ්‍යාව 156 ක්ව තිබියදී ජොස් හේසල්වුඩ්ගේ පන්දුවක් කඩුල්ලට යා නොදී අවහිර කිරීමේ වරදට හසුව ජෙම්ස් වින්ස් දැවී ගියේය. එතැන් සිට ලකුණු 13 ක් ඇතුළත පිතිකරුවෝ හතර දෙනෙක් දැවී ගියහ. ලකුණු 52 ක් ඇතුළත එංගලන්තයේ අවසන් කඩුලු 7 ම ඇද වැටිණ.

එංගලන්ත නායක මොයින් අලි පැමිණ පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට හතරේ පහරකින්  සහ හයේ පහරකින් සංග්‍රහ කළ නමුත් ටොප් ස්පින් පන්දුවක් නිසි ලෙසින් වටහා නොගැනීම හේතුවෙන් ඔහු ලකුණු 10 කට දැවී ගියේය. එතැන් සිට පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා විවේක ගන්වා සිටින නායක පැට් කමින්ස් වෙනුවට කණ්ඩායමට පැමිණි ජොස් හේසල්වුඩ් මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු පිලේ නායකත්වය දැරීය.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 280 යි
(ඩේවිඩ් වෝනර් 16, ට්‍රැවිස් හෙඩ් 19, ස්ටීවන් ස්මිත් 94, මානස් ලැබුෂේන් 58, මිචෙල් මාෂ් 50, මාකස් ස්ටොයිනිස් 13, ඇෂ්ටන් ආගර් නොදැවී 18, ක්‍රිස් වෝක්ස් 42/2, ඩේවිඩ් විලී 44/2, අදිල් රෂීඩ් 57/3)

එංගලන්තය - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 208 යි
(පිලිප් සෝල්ට් 23, ජේම්ස් වින්ස් 60, සෑම් බිලිංග්ස් 71, මොයීන් අලී 10, ලයාම් ඩෝසන් 20, මිචෙල් ස්ටාක් 47/4, ජොෂ් හේසල්වුඩ් 33/2, ඇඩම් සම්පා 45/4)

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.