Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 ක්

ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 ක්

editorial - 2022 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සහය දිවීමේ ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන්ද සමන්විත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක්  චීනයේ හන්ජේ නුවරදී පැවැත්වෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නිර්දේශ කර තිබේ.

මීළඟට යෙදෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් 10 වැනිදා සිට 25 වැනිදා දක්වා ඒ අනුව හන්ජෝ නුවරදී පැවැත්වේ. සැප්තැම්බර් 16 සිට  22 වැනිදා දක්වා එහි මලල ක්‍රීඩා තරග පැවැත්වේ.

දැනට රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ඒ හේතුවෙන් එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල දෙකේදීම ශ්‍රී ලංකාවේ සහභාගිත්වය  සඳහා යන වියදම් කපා දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඉකුත්දා සමාලෝචනයක යෙදුණු ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන්ගේ සහභාගිත්වය අවම කළත් එයින් මෙම තරග සංචාර දෙකටම යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් වෙත බලපෑමක් එල්ල වී නැත.

කෙසේ වෙතත් මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහභාගිත්වය ආසියානු ක්‍රීඩා  උළෙල සඳහා එක් අයෙකුට පමණක් සීමා වනු ඇතැයිද වාර්තාවේ.  එම අවස්ථාවට ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතාට හිමිවනු ඇතැයිද වාර්තාවේ.

මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස නිර්දේශ වී සිටින්නේ ලාල් චන්ද්‍රකුමාර මහතාය.

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති මලල ක්‍රීඩා රන් පදක්කම් ගණන 10කි. රිදි පදක්කම් හයක් හා ලෝකඩ පදක්කම් 11ක්ද ශ්‍රී ලංකාව මේ වනතෙක් හිමිකරගෙන ඇත.

2018 ජකර්තා නුවර පැවැති 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි කර ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමකි. එහිදී ශ්‍රී ලංකාවට කිසිදු   පදක්කමක් දිනාගත නොහැකි  වූ අතර  ශ්‍රී ලංකා මීටර 4 x400 සහය දිවීමේ පිරිමි කණ්ඩායම වෙතින් ඉහළම දස්කම පළවිය.  ඒ විනාඩි 3 තත්පර 02.74කට සිව් වැනි ස්ථානයට පත්වීමෙනි. හන්ජෝ ආසියානු ක්‍රීඩා උළෙලටත් නිර්දේශ වී සිටින අනුර  දර්ශන, කාලිංග කුමාරගේ (මීටර් 400- කාන්තා) ගයන්තිකා අබේරත්න (මීටර් 800) කාන්තා හා නිලානි රත්නායක (මීටර් 3000-බාධක කාන්තා) 2018 ක්‍රීඩා උළෙලටත් සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  වෙති.

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී අවසන් වරට රන් පදක්කමක් දිනා ඇත්තේ 2002 ‘බූසාන්’  ක්‍රීඩා උළෙලේදීය. එහිදී සුසන්තිකා ජයසිංහ මීටර් 100-කාන්තා ඉසව්වෙන්ද දමයන්ති දර්ශා  මීටර් 400-කාන්තා ඉසව්වෙන්ද රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූහ.

ආසියානු ක්‍රීඩා අවසන් මලල ක්‍රීඩා පදක්කම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ 2006 දෝහා-කටාර් ක්‍රීඩා උළෙලේදීය.  ඒ මීටර්  4 x400 (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමෙනි. රොහාන් ප්‍රදීප් කුමාර, රෝහිත පුෂ්පකුමාර, ප්‍රසන්න අමරසේකර, අශෝක ජයසුන්දර ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමයි.

1951 නවදිල්ලි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පළමු ආසියානු ක්‍රීඩා පදක්කම දිනා තිබේ. ඒ රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන් එම්.ඒ. අක්බාර් ලද රිදී පදක්කමයි. ආසියානු ක්‍රීඩා උළෙලක පළමු රන් පදක්කම දිනාගත් ශ්‍රී ලාංකිකයා වන්නේ 1958 ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී උස පැනීම (පිරිමි) ඉසව්වෙන් ජයගත් නාගලිංගම් එදිරිවීරසිංහම්ය.

 

19වැනි ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම.
අමාෂා ද සිල්වා (කාන්තා මීටර් 100), හසන්තිකා අබේරත්න (කාන්තා මීටර් 800 සහ කාන්තා මීටර් 1500) නිලානි රත්නායක (කාන්තා මීටර් 3000-බාධකදිවීම), සාරංගි සිල්වා (කාන්තා දුර පැනීම), රොමේෂිකා රත්නායක, ෂෙලින්ඩා ජෙන්සන්, මේධානි ජයමාන්න, ලක්ෂිකා සුගන්ධි, තරුෂි කරුණාරත්න හා නදීෂා රාමනායක(කාන්තා මීටර් 400 x4), යුපුන් අබේකෝන් (මීටර් 100), කාලිංග කුමාරගේ(මීටර් 400 සහ මීටර 400 x4) රොෂාන් රණතුංග (මීටර් 110 කඩුලු පැන දිවීම), උෂාන් තිවංක පෙරේරා (උස පැනීම), ධනුෂ්ක සඳරුවන්, (දුර පැනීම), චමල් කුමාරසිංහ (තුන් පිම්ම), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම),  අරුණ දර්ශන, ඉසුරු ලක්ෂාන්, පබසර නිපුන් සහ දිනුක දේශාන්.


අදහස් (0)

ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.