Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කවුද මේ රින්කු සිං
අයි.පී.එල් 2023

කවුද මේ රින්කු සිං

editorial - 2023 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම- දමින්ද විජේසූරිය)

ඉරිදා පැවැති අයි.පී.එල්. තරගයේදී අවසන් ඕවරයේදී පිට පිටම හයේ පහර 5 ක් ගසමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය රින්කු සිං ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින සදාතනික ගුණාංගය වන අවිනිශ්චිතතාව නැවත වරක් තහවුරු කළේය.

පසුගිය වසරේ ශූරයන් වන ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව පැවැති තරගය ජයගැනීමට නම් කොල්කටා පිලට අවසන් ඕවරයේදී ලකුණු 29 ක් අවශ්‍යව තිබිණ. යෂ් දයාල් යැවූ එම ඕවරයේ පළමු පන්දුවෙන් උමේෂ් යාදව් තනි ලකුණක් ලබාගත්තේය. අනතුරුව රින්කු සිංගේ හයේ පහර 5 නිසා ලකුණු 205 ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය කොල්කටා ක්‍රීඩකයෝ තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 3 ක ජයක් ලබාගත්හ.

“රෂීඩ් ඛාන්ගේ කඩුලු ත්‍රිත්වයෙන් තරගය වෙනස් වේවි කියලා කව්රුහරි හිතුවානම් රින්කු සිං ඒක වෙනස් කළා. ඔහුගේ පහරදීම ඒ තරම්ම ප්‍රවේගවත්” යයි සචින් තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබිණ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙම ඉනිම සමාන කර තිබුණේ 2016 විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී කොදෙව් පිතිකරු කාලෝස් බ්‍රැත්වෙයිට් විසින් එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් හමුවේ අවසන් පන්දු 4 ටම හයේ පහර 4 ක් ගසමින් ලෝක කුසලානය තමන් සතුකර ගැනීමටයි.

තරගයෙන් පසුව රින්කු කීවේ “අවසන් පන්දුව දක්වාම ඉලක්කය හඹා යන්න”යි කොල්කටා පිලේ තාවකාළික නායක නිතිෂ් රානා තමන්ට කී බවයි.

“මට විශ්වාසයක් තිබුණා මට ඒ දේ කරන්න පුළුවන් කියලා. රනා අයියා මට කිව්වා විශ්වාසය තියාගෙන පන්දුවට මුහුණ දෙන්න. ඊට පස්සේ වෙන දේ බලමු කියලා....”
“මම වැඩිය දේවල් හිතන්න ගියේ නෑ. මට හිතෙන පහර ගැහැව්වා.... අන්තිමට ඒක වුණා” යයි වමත් පිතිකරුවකු වන රින්කු සිං ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබිණ.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ පුහුණුකරු චන්ද්‍රකාන්ත් පණ්ඩිත් කියා සිටියේ රින්කු සිංගේ ඉරිදා ඉනිම, 80 දශකයේ රංජි කුසලාන තරගයකදී රවී ශාස්ත්‍රි එකම ඕවරයකදී හයේ පහර 6 ක් ගැසීමටත්, 1986 සාජා කුසලාන  අවසන් තරගයේදී පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් අවසන් පන්දුවට හයේ පහරක් ගසමින් තරගය ජයගැනීමටත් නොදෙවනි බවයි.
 
එසේ නම් රින්කු සිං යනු කවුරුන්ද ?
ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේදී 1997 ඔක්තෝබර් 12 වැනිදා උපන් රින්කු වමත් පිතිකරුවෙකි. ඔහු ඉන්දීය දේශීය ක්‍රිකට් තරගාවලි අතරේ උත්තර් ප්‍රාන්ත පිල නියෝජනය කරයි.

ඉන්දීය දේශීය ක්‍රිකට් තරගාවලියේදී රින්කු සිං තරමක් නමක් දිනා සිටින පිතිකරුවෙකි. 2018-19 රංජි කුසලාන තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනියා වූ රින්කු (963), උත්තර් ප්‍රාන්තයේ දුප්පත් පවුලකින් එන ක්‍රීඩකයෙකි.

එකල රින්කුගේ පවුල ඉන්දීය රුපියල් ලක්‍ෂ 5 ක් පමණ ණය වී තිබිණ. ඔහුගේ පියා එල්.පී. ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කිරීමෙන් ජීවිකා වෘත්තිය උපයා ගන්නෙකි. වැඩිමහල් සොහොයුරා කුළී ත්‍රිරෝද රථ පදවන්නෙකි. තවත් සොහොයුරෙක් පුහුණුවීම් මධ්‍යස්ථානයක සේවය කරන්නෙකි. තමන්ගේ ක්‍රිකට් දිවිය පවත්වාගෙන යාමට අසීරු උත්සාහයක් ගත් රින්කු පවා වෙනත් වෙනත් රැකියාවල නිරත වෙමින්, තම පවුලේ අයට සහාය වීමට උත්සාහ කළේය.

“මගේ සහෝදරයා මාව එයා වැඩකරපු තැනට එක්කරගෙන ගියා. එතැන මට තිබුණේ ගෘහස්ථ කටයුතු කරන්නයි. ඒ කියන්නේ අතුගාන්න, බිම ඔප දමන්න වගේ දේවල්.. මම ගෙදර ඇවිල්ලා අම්මාට කිව්වා මම ආයෙත් එතෙන්ට යන්නේ නෑ, මම පුළුවන් විදිහට ක්‍රිකට් ගහනවා කියලා” යයි වසර කිහිපයකට ඉහතදී ගතකළ අසීරු දිවිය සම්බන්ධයෙන් රින්කු සිං ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් පතට කීවේය.

කෙසේ වෙතත් සිය මුල්ම අයි.පී.එල්. කොන්ත්‍රාත්තුව රින්කුට අදහාගැනීමටත් බැරිවිය.
“මං හිතුවේ මට ලක්‍ෂ 20 ක් විතර ලැබෙයි කියලා.... ඒත් (ඉන්දීය රුපියල්) ලක්‍ෂ 80 කට මාව මිලදී ගත්තාම මගේ හිතට ආපු පළමුවැනි දේ තමයි මගේ ලොකු අයියාගේ විවාහ මංගල උත්සවයට උදව් කරන්නත්, මගේ සොහොයුරියගේ විවාහය වෙනුවෙන් කීයක් හරි ඉතිරි කරන්නත් මට පුළුවන් කියන එක. ඒ වගේම ටිකක් හොඳ තත්ත්වයේ ගෙදරකට යන්න පුළුවන් කියලත් හිතුණා” යයි ද රින්කු සිං සිය මුල්ම අයි.පී.එල්. කොන්ත්‍රාත්තුව ලැබුණු දින ඇතිවූ සිතුම් පැතුම් යළි සිහිපත් කළේය.

වසර 2018 ක්‍රීඩක වෙන්දේසියේදී රින්කු සිං අයිතිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තියුණු සටනක් තිබිණ. මේ නිසාම රින්කුගේ මිල ඉහළ ගිය අතර පසුව කොල්කටා හිමිකරුවෝ රුපියල් ලක්‍ෂ 80 කට රින්කුව මිලදී ගත්හ. 2018 අයි.පී,එල්. තරගාවලියේදී රින්කු ක්‍රීඩා කළේ තරග 4 කට පමණි. 2020 දී එක අයි.පී.එල්. තරගයක් ක්‍රීඩා කළේය.

2021 දී පන්ජාබ් කිංග්ස් හිමිකරුවන් විසින් ඔහුව මිලදී ගන්නා ලදි. එහෙත් 2021 තරගාවලිය පුරාම ඔහු ක්‍රීඩකයන්ගේ බංකුව රත් කළා මිස එකම තරගයකට වත් ක්‍රීඩා නොකළේය.

කෙසේ වෙතත් 2022 අයි.පී.එල්. වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්‍ෂ 55 ක් දී කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරුවන් විසින් නැවත වරක් රින්කුව මිලදී ගන්නා ලදි. එම වසරේ අයි.පී,එල්. තරගාවලියේදී කොල්කටා පිල ඉතාමත් අසරණ වූ නමුත් රින්කු සිං තරග 7 කදී ලකුණු 174 ක් ලබාගත්තේ පන්දු 100 ක් සඳහා ලකුණු 148 ක ප්‍රවේගයක් රඳවා ගනිමිනි.

ඉරිදා ඉනිමෙන් පසුව, රින්කුව සංසන්දනය කෙරෙන්නේ ක්‍රිකට් ලොව පතාක යෝධයන් වූ ජාවෙඩ් මියැන්ඩාඩ්, රවී ශාස්ත්‍රි සහ කාලෝස් බ්‍රැත්වෙයිට් වැන්නන් සමගිනි. එවන් දැවැන්තයන් හා සංසන්දය කිරීම නිසාම ක්‍රීඩකයා වෙත එන්නත් කෙරෙන ආත්ම විශ්වාසය මෙන්ම ගෞරවනීය ආත්මාභිමානය මගින් ඔහුගේ දස්කම් වඩ වඩාත් උද්දීපනය කෙරෙනු ඇත.

දැන් රින්කු සිංගේ කාලය පැමිණ තිබේ. රින්කු සිං හමුවේ ඇත්තේ දීප්තිමත් අනාගතයකි.

ඉන්දීය පුවත්පත් සහ අන්තර්ජාල මාධ්‍ය වාර්තා ඇසුරිනි.


අදහස් (0)

කවුද මේ රින්කු සිං

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.