Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කණ්ඩායම් පිටියට යවා නායකයෝ පිටරට යති

කණ්ඩායම් පිටියට යවා නායකයෝ පිටරට යති

editorial - 2023 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

නායකයන් සිවුදෙනකුද ඇතුළුව සංචිතවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 13 දෙනෙකු විදෙස් විස්සයි-20 ලීගයන්ට සහභාගි වී සිටියදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය නිමාවට පත් විය. 

කොළඹ, යාපනය, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම සිව්දින තරගාවලිය පැවැත්වෙන නමුත් පළමු සතියේ තරග සඳහා කොළඹ කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, මහනුවර කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල සහ දඹුල්ල කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සහභාගි නොවූහ. 

තරග කාලසටහනට අනුව පළමු සතියේදී යාපනය කණ්ඩායමට තරගයක් වැටී නොතිබුණ නමුත් එම කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ද, විදෙස් විස්සයි-20 ලීගයකට සහභාගි වෙමින් සිටින බැවින් 26 වැනිදා ආරම්භ වන යාපනය කණ්ඩායමේ පළමු තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය සැක සහිතය.  

ඉහත කී නායකයන් සිවු දෙනාගෙන් කුසල් මෙන්ඩිස් මේ වන විට දකුණු අප්‍රිකානු විස්සයි-20 ලීගයේ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමටද, කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශිලාත් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කරමින් සිටිති. සෙසු නායකයන් දෙදෙනා වන නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා මේ වන විට ඩුබායි ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ ඩුබායි කැපිටල්ස් සහ අබුඩාබි නයිට්රයිඩර්ස් කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින් සිටිති. 

මහනුවර කණ්ඩායමේ උප නායක චාමික කරුණාරත්නද ඩුබායි ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටීම හේතුවෙන් නැෂිනල් සුපර් ලීග් තරගාවලියේ පළමු සතියේදී මහනුවර කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ විසිනි.

මෙම ක්‍රීඩකයන්ට අමතරව දඹුල්ල සංචිතයට ඇතුළත්ව සිටින අෂාන් ප්‍රියන්ජන් සහ මාලින්ද පුෂ්පකුමාර (චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස්) බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියටද, වනිඳු හසරංග (ඩෙසට් වයිපර්ස්) ඩුබායි ජාත්‍යන්තර විස්සයි-20 ලීගයටද එක්ව සිටිති. 

මේ වන විට ඩුබායි ජාත්‍යන්තර විස්සයි-20 ලීගයට ක්‍රීඩා කරන දසුන් ශානක සහ චරිත් අසලංක කොළඹ සංචිතයටද, ළහිරු කුමාර සහ මතීෂ පතිරණ මහනුවර සංචිතයටද, දිනේෂ් චන්දිමාල් ගාල්ල සංචිතයටද ඇතුළත්ව සිටිති. එහෙත් මෙම ක්‍රීඩකයන් සියලු දෙනාට නැෂිනල් සුපර් ලීග් තරගාවලියේ පළමු සතියේ තරග අහිමි විය.

නැෂිනල් සුපර් ලීග් තරගාවලියේ දෙවැනි සතියේ තරග අනිද්දා (26 වැනිදා) ආරම්භ වීමට නියමිත අතර එහිදී යාපනය කණ්ඩායමට එරෙහිව දඹුල්ල කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීද, මහනුවර කණ්ඩායමට එරෙහිව ගාල්ල කණ්ඩායම පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීද තරග බිමට පිවිසීමට නියමිතය.

කෙසේ වුවත් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය, ඩුබායි ජාත්‍යන්තර විස්සයි-20 ලීගය මෙන්ම දකුණු අප්‍රිකානු විස්සයි-20 ලීගයද තවමත් නිමාවට පත්වී නොමැති බැවින් නැෂිනල් සුපර් ලීග් තරගාවලියේ දෙවැනි සතියේ තරග සඳහාද ඉහත කී ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී. 

වසර 4 කට පමණ පසුව ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට මාසයක් පමණ ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩකයන්ට නැෂිනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය මඟහැර විදෙස් විස්සයි-20 ලීගවලට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබාදීම මේ වන විටත් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබේ. 

නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පෙරහුරුවක් ලබාගැනීමට සඳහා නැෂිනල් සුපර් ලීග් තරගාවලිය කදිම අවස්ථාවක් බවත්, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල වැනි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයන් පවා එම අවස්ථාව මඟ හැර තිබීම මහත් කණගාටුවට කරුණක් බවත් ඔව්හු කියති. 

ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැති ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ මීට වසර 16 කට පෙර එනම් 2006 වසරේදීය. ඉන් අනතුරුව නවසීලන්තයේදී ටෙස්ට් තරග 6 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව, ඉන් තරග 5 ක්ම පරාජයට පත්ව ඇති අතර ජය පැරදුමෙන් තෙරව අවසන් කරගෙන ඇත්තේ එක් තරගයක් පමණි. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය මාර්තු මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා ක්‍රස්ට්චර්ච්හිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය මාර්තු මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා වෙලින්ටන්හිදී පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (1)

කණ්ඩායම් පිටියට යවා නායකයෝ පිටරට යති
  • Sisira Wednesday, 25 January 2023 09:11 AM

    රට වෙනුවට සල්ලි බලවත්....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.