Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කටාර් 2022 වැරදීමක්

කටාර් 2022 වැරදීමක්

editorial - 2022 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, 2022 සත්කාරක අයිතිය කටාර් රාජ්‍යයට පිරිනැමීම “වැරදීමක්” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝෂප් (සෙප්) බ්ලැටර් මහතා කියයි. ස්විට්සර්ලන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් 2022 තරගාවලිය කටාර් රාජ්‍යයට පිරිනැමීම “වැරැද්දක්” බව සඳහන් කළ බ්ලැටර් මහතා වැඩිදුරටත් පවසා සිටියේ එය “නරක තේරීමක්” ද වන බවයි.

මේ වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ස්විට්සර්ලන්තයට පිරනමන ලද්දේ 2010 දීය. ඒ වන විට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ව සිටියේ සෙප් බ්ලැටර් මහතාය.

වසර 2022 දී ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය කටාරයට දුන් බව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කළ දා සිටම, දූෂණ චෝදනා සහ මානව හිමිකම් කඩකිරීම් ඇතුළු මතභේදයට තුඩු දුන් කාරණා ඉස්මතු විය.

උසස් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ “අලංකාර ක්‍රීඩාව” ලෙසින් වූවත්, “අවලස්සන ක්‍රීඩාව” නම්කරමින් යයි 2022 සත්කාරකත්වය කටාරයට පිරිනැමීම සම්බන්ධයෙන් සැඟවුණු තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත්කෙරිණ.
 
වසර 17ක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති තනතුර හෙබවූ බ්ලැටර් මහතා, ඔහුගේ පාලන සමයේදී දූෂණ චෝදනාවලට ද පැටලී තිබේ. එහෙත් පසුගිය ජුනි මාසයේදී ස්විට්සර්ලන්ත අධිකරණයක් විසින් ඔහු වංචා සම්බන්ධ චෝදනාවලින් නිදහස් කරන ලදී. එසේ වුවත්, බ්ලැටර් මහතාට එරෙහිව නඩු පවරන ලද්දෝ, තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කළහ.

“එය (කටාරය) ඉතාම කුඩා රටක්. පාපන්දු ක්‍රීඩාව වගේම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඒ වගේ රටකට විශාල වැඩියි,” යයි පාපන්දු ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය දරන පළමුවැනි මැද පෙරදින රට වන කටාර් රාජ්‍යය ගැන බ්ලැටර් පැවසූයේ යයි පසුගිය 9 වැනිදා ඇමරිකාවේ සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.
 
කටාර්හි පාපන්දු ක්‍රීඩාංගණ ආශ්‍රිත ඉදිකිරීම් ස්ථානවල සේවා තත්ත්වයන් පිළිබඳ කනස්සල්ල හේතුවෙන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී සත්කාරක රටවල් තෝරා ගැනීමට භාවිතා කරන නිර්ණායක, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින්, වසර 2012 දී සංශෝධනය කරන ලදි.

“එතැන ඉඳලාම, සමාජයීය වැදගත්කම් වගේම මානව හිමිකම් ගැනත් සැලකිල්ලට ගත්තා” යයි ද සෙප් බ්ලැටර් මහතා පැවසීය.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාරයේදී ආරම්භ වීමට ඇත්තේ තවත් සතියක පමණ කාලයකි. එය ලබන ඉරිදා (20 වැනිදා) කටාරය සහ ඉක්වදෝරය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.

කටාරය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන්නේ පළමු වැනි වතාවටය. 1934 දී ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසි දිනෙක කටාරය අවසන් වටයේ තරගාවලියට සුදුසුකම් ලබා නැත.

2022 තරගාවලිය, සූරිච් හි පිහිටි තම නිවසේ සිට නරඹන බව සෙප් බ්ලැටර් මහතා ප්‍රකාශ කළේය.

 

 - 213


අදහස් (0)

කටාර් 2022 වැරදීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.