Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නායකයාගේ අභියෝගයෙන් ලද 100 වැනි ජයග්‍රහණය

නායකයාගේ අභියෝගයෙන් ලද 100 වැනි ජයග්‍රහණය

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

එක් පිලක පන්දුවත් අනෙක් පිලේ පිත්තත් ඇතිව, කඩුලු දෙකක් අතර දිව යමින් කරන ක්‍රීඩාවක් වුවද, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් සීමිත ඕවර (එක්දින සහ විස්සයි-20) ක්‍රිකට් ක්‍රීඩාවත් අතර ඇත්තේ පියවිය නොහෙන පරතරයකි. කොයි තාලයේ ක්‍රිකට් ක්‍රීඩාව කළත්, ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකාංග තවමත් නොනැසී රැඳී ඇත්තේ ටෙස්ට් සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ බව ද රහසක් නොවේ.

එක්දින හෝ විස්සයි-20 නැතහොත් දහයයි-10 ක්‍රිකට් ක්‍රීඩාව හා සන්සන්දනාත්මකව බලන කල්හි, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ඇත්තේ අඩු ජනප්‍රියත්වයකි. එසේ වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ, එක්දින හෝ සීමිත ඕවර තරග වලට වඩා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් ආකාරයකින් හිස් ඔසවාගෙන සිටිති. පසුගිය සිකුරාදා ඔවුන් ලබාගත් 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ටෙස්ට් දස්කම් වෙනුවෙන් කදිම සාක්ෂියකි.

ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තණතීරුව සකස් කෙරුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිඹුරු දඩයමේ යා හැකිවන පරිදිය. වසර ගණනාවක් තිස්සේ ගාල්ල ක්‍රීඩාංගණයේදී දක්නට තිබූ තණතීරුව මේ වතාවේදී වෙනස් වූයේ එබැවිනි. එහෙත් කාසියේ වාසිය අහිමි වීම හේතුවෙන් අයර්ලන්තය ලකුණු 492 ක් ලබාගැනීමෙන් පසුව තමන්ගේ සැලසුම් වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
 
විශේෂිතම හේතුව වූයේ අයර්ලන්ත පිතිකරුවන් ලබාගත් ලකුණු 492 වෙනුවෙන් විනාඩි 640 ක් හෙවත් පැය දහය හමාරකට වැඩි කාලයක් ගතකිරීමයි. ඇරත් තුන්වැනි දින සන්ධ්‍යාවේ ගාල්ල ක්‍රීඩාංගණයට ඉහළින් කඩාපාත් වූ ධාරාණිපාත වර්ෂාව නිසා අයර්ලන්තය සමග පමණක් නොව, කාලයත් සමගත් තරග කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

තරගයේ ඉතිරිව තිබුණේ දින දෙකකි. අයර්ලන්තය ඒ වන විටත් ලකුණු 135 ක් ඉදිරියෙන් සිටියේය. එහෙත්, ඉතිරි කාලය වෙනුවෙන් සකස්කරගත් සැලසුම අකුරටම ක්‍රියාත්මක කළ දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයෝ ඓතිහාසික 100 වැනි ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට ගෙනැවිත් දුන්හ.

කාලයට වඩා වේගයෙන් ලකුණු හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබාගත්තේ විනාඩි 638 කිනි. නිශාන් මධුෂ්ක (පන්දු 237) සහ කුසල් මෙන්ඩිස් (පන්දු 192) දෙදෙනාගේ වේගවත් ද්විත්ව ශතක දෙකත්, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 114 කින් ලබාගත් ශතකයත් නිසා අපේක්‍ෂා කළාටත් වඩා කලින්ම බලාපොරොත්තු වූ ලකුණු 200 වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවිය.

සිව්වැනි දිනයේ පැය එක හමාරක පමණ කාලයක් ඉතිරිව තිබියදී ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකා නායකයා සිය සගයින්ට දුන්නේ අභියෝගයකි.

“මතක තියාගන්න, හෙට හවස් වරුවේ (තේ පානයෙන් පසු) අපට සෙල්ලම් කරන්න වෙන්නේ නෑ. වහිනවා. ඒ නිසා කරන දෙයක් තේ එකෙන් ඉස්සෙල්ලා කරගන්න ඕනේ” යයි දිමුත් කරුණාරත්න සිය සගයින්ට කීවේය. පන්දු යැවීම ආරම්භ කළ විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය දෙදෙනා එතැන් සිටම අයර්ලන්ත පිතිකරුවන්ගේ ගෙල සිර කළහ. පන්දු රකින්නන්ගෙන් ඔවුනට ලැබුණේ අති විශිෂ්ට සහයෝගයකි.

අවසන් දිනයේ තරගය ආරම්භ කරන විටත් අයර්ලන්තය සතුව කඩුලු 8 ක් තිබිණ. එහෙත් ඔවුන් ඒ වන විටත් ලකුණු 158 ක් පසුපසින් සිටි බැවින් පරාජයේ පීඩනයට නතුව සිටියහ. මෙම අවස්ථාවේදී අපූරු තීරණයක් ගත් දිමුත් කරුණාරත්න, එතෙක් වේලා නිහඬව සිටි අසිත ප්‍රනාන්දු පන්දු යැවීමට කැඳවූයේ සිව්වැනි පන්දු යවන්නා ලෙසිනි.

අයර්ලන්ත පිතිකරුවන් අන්ද මන්ද කළ පන්දු යැවීමක නිරත වූ අසිත, අයර්ලන්ත ඉනිම දෙදරවා හැරියේය. එදින උදෑසන අසිතගේ පන්දු යැවීමේ වාරය සටහන් වූයේ 7-2-14-1 ක් ලෙසින් වුවත් ඔහු අයර්ලන්ත පිතිකරුවන් සසළ කළ ආකාරය හේතුවෙන් පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ.

කඩුලු 8 ක් දැවී ගොස් තිබියදීත්, එක් අන්තයක් ආරක්‍ෂා කරගෙන සිටි හැරී ටෙක්ටර් තමන්ගේ සහාය පිතිකරුවා මුවා කරගනිමින් කණ්ඩායම බේරා ගැනීමට උත්සුක වූයේ හතර වටින් කළුකරගෙන ආ බැවිනි. එහෙත් වැඩි වේලාවක් ටෙක්ටර්ට ඒ සෙල්ලම කිරීමට අවසර නොදුන් අසිත පිට පිටම යැවූ යෝකර් පන්දු දෙකකින් තරගය අවසන් කළේ ශ්‍රී ලංකාවේ 311 වැනි ටෙස්ට් තරගයේදී 100 වැනි ජයග්‍රහණය සම්පූර්ණ කරමිනි. අයර්ලන්ත දෙවැනි ඉනිම පැය පහමාරකදී නිමා විය. අයර්ලන්තය තරගය පරාජය වූයේ ඉනිමක පරාජයකට මුහුණ දුන් කණ්ඩායම් අතර පළමු ඉනිමේදී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම ලෙසිනි.

ටෙස්ට් තරග 7 කින් කඩුලු 50 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 කඩයිම පසුකළ පන්දු යවන්නා වූවත්, ඔහුට එය කළ හැකිවූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා විසින් රැකගත් විශිෂ්ට උඩපන්දු දෙකකට ස්තුති වන්නටය. ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් පමණක් නොව, ධනංජය ද සිල්වාත් තමන් වෙත පැමිණෙන උඩපන්දු වෙත කඩාපැන්නේ ගොදුරට පනින කළු දිවියන් මෙනි.


ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග වාර්තාව


අදහස් (0)

නායකයාගේ අභියෝගයෙන් ලද 100 වැනි ජයග්‍රහණය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.