Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජේ. ශ්‍රී රංගා මාස 5 කට පාපන්දුව බාරගනී

ජේ. ශ්‍රී රංගා මාස 5 කට පාපන්දුව බාරගනී

editorial - 2023 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලවරණය ජයගත් නව සභාපති ජේ. ශ්‍රී රංගා මහතා ආධාරකරුවන් පිරිවරා ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මූලස්ථානයට පැමිණි අයුරු.

(නාමල් පතිරගේ)

වැඩි ඡන්ද තුනක තියුණු ජයක් (27-24) ලබමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ඉදිරි මාස පහක් වන කාලයක් සඳහා නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා තේරී පත්විය. හිටපු සභාපති යූ.එල්. ජස්වර් උමාර් මහතා 14 වැනිදා (සෙනසුරාදා) රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති නිලවරණයට ඉදිරිපත් වුවත් ඔහුගේ සභාපති අපේක්ෂකත්වය අවලංගු කිරීමට නිලවරණ කමිටුව අවසන් මොහොතේ ගත් තීරණය හමුවේ ඡන්ද විමසුමට පෙර ජස්වර් මහතා සභාවෙන් ඉවත් කිරීමට කමිටුව පියවර ගත්තේය.

ඡන්ද විමසුමේදී ශ්‍රී රංගා මහතා සමඟ තරගයට ඉදිරිපත් වූයේ ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයට සහයෝගය දක්වමින් සභාපති අපේක්ෂකත්වයට ඉදිරිපත්ව සිටි ජගත් කුමාර ද සිල්වා මහතාය. ඔහු එහිදී ඡන්ද 24ක් ලැබීය.

රූපවාහිනි නාලිකා දෙකකම හිටපු මාධ්‍යවේදියකු ද වන ජේ. ශ්‍රී රංගා මහතා මෙවර මන්නාරම පාපන්දු ලීගයේ සභාපති ධුරය දරමින් නිලවරණයට ඉදිරිපත් වූයේ ගියවර නිලවරණයේ සභාපති අපේක්ෂක වෛද්‍ය මනිල් ප්‍රනාන්දු, හිටපු සභාපතිවරුන් වන අනුර ද සිල්වා, රංජිත් රුද්‍රිගු, හර්ලි සිල්වේරා යන මහත්වරුන් ඇතුළු පාර්ශ්වයක සහයෝගය ලබා ගනිමිනි. ජයග්‍රහණයෙන් පසුව ආධාරකරුවන් පිරිවරා ගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශයට යාබඳව පිහිටි ශ්‍රී ලංකා පාපන්දු මූලස්ථානයට පැමිණි නව සභාපති රංගා මහතා රතිඤ්ඤා දල්වා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී ඔහු මාධ්‍ය හමුවකට ද සහභාගි විය.

හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ අපේක්ෂකත්වය නිලවරණ කමිටුව අවසන් මොහොතේ අවලංගු කළේ වසර 2017 පාපන්දු ආයතනයේ ලේකම්වරයාව සිටියදී විගණකාධිපතිවරයාට යොමු කළ බව කියන ලිපියක නීත්‍යානුකූලභාවය පිළිබඳව කළ විමර්ශනයක නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. එම ලිපියෙන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ ලබාදී ඇත්තේ 2017 සිටි පාපන්දු ලේකම්වරයා වගකීම් විරහිතව කටයුතු කර ඇති බැවින් කිසිදු ක්‍රීඩා සංගමයක නිලයක් දැරීමට නුසුදුසු යයි යෝජනා කරමිනි.

පෙරේදා පැවැති නිලවරණය ලීග 51 කට සීමාවිය.  පාපන්දු ආයතනයේ නිලවරණය මෙවර පළමු වතාවට විවෘත ඡන්ද ක්‍රමයට පැවැත්වූ බැවින් නියෝජිතයන්ගේ මනාපය හෙළිදරව් වීම කැපී පෙණුනි.

කලකට පසුව පාපන්දු ආයතනයේ විධායක සභාවට නිලධාරිණියක් පත්වීමද තවත් කැපූ පෙණුනු සිදුවීමකි. බියගම පාපන්දු ලීගයේ ලේකම් සී. දීපිකා කුමාරි මහත්මිය එහිදී උප සභාපති ධුරයකට පත්වූවාය. උප සභාපති ධුර හතරක් තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා 12න් අටක්ම ප්‍රතික්ෂේප තිබූ බැවින් එම පත්වීම් පෙරේදා නිතරගයෙන් සිදු කෙරුණි.

මේ අතර කොළඹ මහ නගර සභාවට අයත් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තු ලීගයේ ඡන්ද නියෝජිතවරිය ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ වුවත් ඇය සභාපති හා ප්‍රධාන ලේකම් ධුර සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියාය. කෙසේ වුවත් නිලවරණයේදී පහළ තනතුරු කීපයක් පුරවන විට ඇය සභාවට නැවත පැමිණ සිටි අතර එහිදී වාර්තා වූයේ ඇය රංගා පාර්ශ්වයේ අපේක්ෂකයන්ට සහය පළ කරමින් එම අවස්ථාවේදී ඡන්ද විමසුමට සහභාගි වූ බවයි.

මාතර පාපන්දු ලීගයේ ලේකම් ටී.එච්.එස්. ඉන්දික මහතා වැඩි ඡන්ද පහකින් (29-22) එම්මානුවෙල් ආනෝල්ඩ් මහතා පරාජයට පත් කරමින් පාපන්දු ආයතනයේ නව ලේකම්වරයා ලෙස තේරී පත්විය. උප ලේකම් (පරිපාලන) හා උප භාණ්ඩාගාරික යන ධුර සඳහා ඉදිරිපත් වූ සියලු නාමයෝජනා ප්‍රතික්ෂේප වූ බැවින් ඒ සඳහා තෝරා පත්කර ගැනීම පාපන්දු ආයතනය කැඳවෙන විශේෂ මහ සභා රැස්වීමකදී සිදු කෙරේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව විධායක සභාව බලපැවැත්වෙන්නේ 2023 ජනවාරි 14 වැනිදා සිට 2023 මැයි 31 වැනිදා දක්වා වන මාස 5 ක කාලයකට පමණි.

සභාපති :- ජේ. ශ්‍රී රංගා මහතා
ප්‍රධාන ලේකම් :- ටී. එච්.එස්. ඉන්දික මහතා
භාණ්ඩාගාරික :- ටී. සුතාකර් මහතා
උප සභාපතිවරු (ධුර 5 යි) :- එස්.බී. නාගහවත්ත, සී. දීපිකා කුමාරි, ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත, ටී.අයි. උඩුවර යන මහත්ම මහත්මීහු
උප ලේකම් (තාක්ෂණ) :- එස්.ආර්.එම්.එම්. අසාඩ් මහතා

 


අදහස් (0)

ජේ. ශ්‍රී රංගා මාස 5 කට පාපන්දුව බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.