Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 බාබර් - රිස්වාන් පාකිස්තානය අවසන් තරගයට ගෙන යති
පළමු අවසන් පූර්ව තරගය

බාබර් - රිස්වාන් පාකිස්තානය අවසන් තරගයට ගෙන යති

editorial - 2022 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

නවසීලන්ත පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ බාබර් අසාම් (53) සහ මොහොමඩ් රිස්වාන් (57) දෙදෙනා විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ 8 වැනි ශතක සම්බන්ධතාව සටහන් කරමින් පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන්  මහ තරගයට කැඳවාගෙන ගියහ.

ලකුණු 153 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ බාබර් සහ මොහොමඩ් රිස්වාන් දෙදෙනා පන්දු 76 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී තබා ඇති 8 වැනි ශතක සම්බන්ධතාව මෙය වන අතර වි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම ශතක සම්බන්ධතා පවත්වා ඇත්තේ මෙම පිතිකරුවන් දෙදෙනා විසිනි.

බාබර් අසාම් දැවී යාමෙන් පසුව පැමිණි මොහොමඩ් හාරිස් පන්දු 26 කින් ලකුණු 30 ක් ලබාගනිද්දී, රිස්වාන් තමන්ට රිසි සේ ලකුණු ලබාගත්තේ හතරේ පහර 5 කින් සිය ඉනිම අලංකාර කරමිනි. බාබර් අසාම්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය.

නවසීලන්ත පන්දු යැවීම ආරම්භයේදීම ඉතාමත් දුර්වල මට්ටමකට ඇද වැටිණ.
තුන්වැනි ඕවරයේ සිට 6 වැනි ඕවරය අතරතුරදී හතරේ පහර 7 ක් පාකිස්තානු ඉනිමට එක්විය. ඒ හේතුවෙන් පළමුවැනි ඕවරය අවසානයේදී ලකුණු 6 ක් ව තිබූ ලකුණු පුවරුවේ, ඕවර 6 ක් නිමාවේදී ලකුණු 55 ක් සටහන් වී තිබිණ.

එතැන් සිට එය බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් දෙදෙනාගේ පිතිහරඹ සංදර්ශනයක් විය.

නවසීලන්ත ඉනිමේදීත් ආරම්භය අසාර්ථක වුවද, නායක කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් එක්ව බලවත් පරිශ්‍රමයකින් යුතුව තම කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 154 ක් දක්වා තල්ලුකරගෙන ගියහ.

ඉනිමේ පළමු ඕවරයේදීම ආරම්භක පිතිකරු ෆින් ඇලන් ලකුණු 04 කට දැවී යාමෙන් නවසීලන්ත පිතිකරුවෝ පසුබා ගියහ. ඕවර 10 ක් නිමාවේදී ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 59 ක් පමණි. එහෙත් 11 වැනි ඕවරයේ සිට අත දිගහැර පන්දුවට පහර දීමට වන් කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා 11 වැනි සහ 12 වැනි ඕවර දෙකේදී ලකුණු 22 ක් උදුරා ගත්හ.

ඕවර 6 කින් ලකුණු 57 ක් උදුරා ගත් කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා 16 වැනි ඕවරය නිමා වන විට ලකුණු සංඛ්‍යාව 116 දක්වා ඉහළ දැමූහ. ඩැරිල් මිචෙල් තරමක් සැර පහර කරා යද්දී නායක විලියම්ස් ක්‍රිකට් පොතේ සම්මත පහර යොදාගනිමින් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවීය.

අවසන් ඕවර 10 න් ලකුණු 95 ක් ලබාගත් නමුත්, පළමු ඕවර 10 දී පසුබැසීම නවසීලන්තයට අවාසිදායක විය හැකිව තිබේ. ලකුණු 24 කට කඩුලු දෙකක් දවාගත් ශහීන් ෂා අෆ්රීඩි පාකිස්තානුවන් අතර හොඳම පන්දු යවන්නා විය.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 152 යි
(ඩොවොන් කොන්වේ 21, කේන් විලියම්ස් 46, ඩැරිල් මිචෙල් නොදැවී 53, ජේම්ස් නීෂම් නොදැවී 16, ශහීන් ෂා අෆ්රීඩි 24/2)

පාකිස්තානය - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 153 යි
(බාබර් අසාම් 53, මොහොමඩ් රිස්වාන් 57, මොහොමඩ් හාරිස් 30, ටේ‍රන්ට් බෝලට් 33/2)

 


අදහස් (0)

බාබර් - රිස්වාන් පාකිස්තානය අවසන් තරගයට ගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.