Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 පැතුම්ගේ ප්‍රාර්ථනා වතුරේ යයි
ශ්‍රී ලංකා - එංගලන්ත තරගය

පැතුම්ගේ ප්‍රාර්ථනා වතුරේ යයි

editorial - 2022 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක, ප්‍රහාරය සඳහා කදිම වේදිකාවක් සකස් කර දුන් නමුත් මැද පෙළ පිතිකරුවන්ට එයින් ප්‍රයෝජන ගැනීමට නොහැකි විය. ඉනිම අග්ගිස්සේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි සේ අසාර්ථක වූ බැවින්, එංගලන්තයට එරෙහිව, සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 141 කට සීමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ඕවර 4 ලකුණු 21 කට සීමාකරගත් එංගලන්ත පන්දු යවන්නෝ සිය ප්‍රතිවාදීන් ලකුණු 141 දී නතර කරගත්තා පමණක් නොව, පන්දු 13 ඇතුළත කඩුලු 4 ක්ම දවාගත්හ.

විශිෂ්ට පිතිහරඹයකින් පසුව, 16 වැනි ඕවරයේදී, පැතුම් නිස්සංක ලකුණු 67 කට දැවී යන්නේ පසුපෙළ පිතිකරුවන්ට අවශ්‍ය වේදිකාව සකස් කර දීමෙන් අනතුරුවය. පන්දු 45 කින් ලකුණු 67 ක් ලබාගත් දකුණත් ආරම්භක පිතිකරුවාගේ ඉනිමට ඇතුළත් හතරේ පහර සංඛ්‍යාව 2 කි. හයේ පහර සංඛ්‍යාව 5 කි.

මෙම තරගාවලිය පුරාම, දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි අදිල් රෂීඩ් ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගයේදී සිය පළමු කඩුල්ල දවාගත්තේ පැතුම් නිස්සංක ආපසු ක්‍රීඩාගාරයට යවමිනි. එහෙත් රෂීඩ් ශ්‍රී ලංකාවට කළ විශාලම හානිය වූයේ ඔහුගේ පන්දු 24 ලකුණු 16 කට සීමා කිරීමයි.

කුසල් මෙන්ඩිස් මෙන්ම ධනංජය ද සිල්වාත් දැවී ගියේ හතරේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් සිට, අති විශිෂ්ට අන්දමින් රැකගත් උඩපන්දු දෙකකිනි. එංගලන්තයේ පන්දු රැකීම එවන් විශිෂ්ට තත්ත්වයක තිබියදීත් ශ්‍රී ලංකා පිතිකරුවෝ වේගවත් ගමනක නිරතව සිටියද නිස්සංක දැවී යාමෙන් පසුව ලකුණු ගලා ඒම ක්‍ෂණයකින් පහළ වැටිණ.

නිස්සංක පිටියේ සිටියදී 7.73 ක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම් ලකුණු ලබාගැනීමේ වේගය නිස්සංක දැවී යාමෙන් පසුව 5.00 ක් දක්වා පහත වැටිණ.

 


අදහස් (0)

පැතුම්ගේ ප්‍රාර්ථනා වතුරේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.