Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 ජයග්‍රහණයකින් ගමන නිමා කිරීමේ අපේක්‍ෂා
ශ්‍රී ලංකා - එංගලන්ත පූර්විකාව

ජයග්‍රහණයකින් ගමන නිමා කිරීමේ අපේක්‍ෂා

editorial - 2022 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමින්, නවසීලන්තය වේලාසනින්ම අවසන් පූර්ව තරගයට යාමේ කඩුල්ල පැනගත්තේය. එතැන් සිට සටන තිබුණේ ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වූවත් අද රාත්‍රියේ පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම බලාපොරොත්තු කීතු කීතු කර දමමින්, වාසි සහගත ඉසව්වකට පැනගත්හ.

මේ වනවිට නවසීලන්තයට මෙන්ම ඕස්ට්‍රේලියාවටද ප්‍රසාද ලකුණු 7 ක් බැගින් තිබෙන නමුත් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (05 වැනිදා) සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත එංගලන්තයේ ඉරණම රැඳී තිබේ. ශ්‍රී ලංකාවට සටනින් ඉවත්වීමට සිදුව ඇත්තේ සුපිරි 12 දෙනාගේ වටයේදී තරග දෙකක් පරාජය වීමේ පාපය හේතුවෙනි.

හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තද, හිමිකරගත හැකි උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 කි. එබැවින් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යා නොහැකිය. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයකින් සිදුවන්නේ ඕස්ට්‍රේලියානුවන්ගේ ස්ථානය තහවුරු කිරීම පමණි.

එහෙත් හෙට තරගයේදී එංගලන්තය ජයගතහොත්, ඕස්ට්‍රේලියානුවන් සංත්‍රාසයට පත්කිරීමේ අවස්ථාව එංගලන්තයට තිබේ. ඒ ශූද්ධ ලකුණු වේගය මත අවසන් පූර්ව තරගයේ ස්ථානයක් සොයාගැනීමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තත්ත්වය ඉතාමත් පැහැදිළිව දැන සිටියේය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා කරමින් සිටියේ ඕස්ටේ්‍රලියානුවන්ගේ පරාජය යයි භානුක රාජපක්‍ෂ අද දහවල කී නමුත් එය එසේ නොවීය. ඕස්ට්‍රේලියානු - ඇෆ්ඝනිස්තානු තරගයේ ප්‍රතිඵලය කුමක් වූවත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිඩ්නි නුවරදී හොඳින් පුහුණුවීම් කරමින් තරගයට සූදානම් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා පිල බාරගැනීමට පෙර එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරුවා විය. එබැවින් ඔහු එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකු ගැන තොරතුරු දන්නා බව කිසිවකුට තර්ක කළ හැකිය. එහෙත් විස්සයි-20 ක්‍රීකට් ක්‍රීඩාව මේ වන විට අවතීර්ණ වී ඇති ගෝලීය වේදිකාවේ තත්ත්වය අනුව, සෑම ක්‍රීඩකයෙක්ම එකිනෙකා ගැන හොඳින් දනිති.

“ක්‍රිස් සිල්වර්වුඩ් කියන්නේ අපි මහත් ආශාවෙන් වැඩකරන්න කැමති පුහුණුකරුවෙක්. එයාත් එක්ක සැහැල්ලුවෙන් කටයුතු කරන්න බෑ. එයා හැම තිස්සේම බර වැඩි පැත්තට අපිව තල්ලු කරනවා”

“අනෙක එයා ලේසියෙන් තෘප්තිමත් වෙන කෙනෙකුත් නෙමේ. මොකක් හරි දෙයක් හොඳට කළාම, එයාට ඕනේ ඒක තව තවත් හොඳට කරන්නයි. ඒකේ සීමාවක් නෑ...” යයි භානුක රාජපක්‍ෂ අද සිඩ්නි නුවරදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක තරගයක් පමණි. දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය වන්නේ එංගලන්තය හමුවේ ලබාගන්නා ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කිරීමයි. අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ එංගලන්තයට 4 වැනි ස්ථානයත්, ශ්‍රී ලංකාවට 7 වැනි ස්ථානයත් හිමිවී තිබේ.

“ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර තරගයේ තීරණය මොකක් වුණත්, අපට ඕනෑ කරන්නේ ඕස්ට්‍රේලියාවේදි හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වීමයි. අනෙක අපට කරන්න පුළුවන් මොනවාද කියලා අපි පසුගිය මාස දෙකේදීම පෙන්නුවා. අපි ශක්තිමත් කණ්ඩායමක්”

“අවාසනාවට වගේ මේ තරගාවලියෙදි හැම ප්‍රතිඵලයක්ම අපට ඕනා විදිහට ලැබුණේ නෑ. ඒත් හෙට තරගය හුඟාක් වැදගත් තරගයක්. අපේ බලාපොරොත්තුව තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කරන්නයි” යයි ද භානුක රාජපක්‍ෂ අද පැවසීය.

එංගලන්ත කණ්ඩායමට පා දඟ පන්දු යවන්නකුගේ වටිනාකම කියා දුන් අදිල් රෂීඩ් දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටීම එංගලන්තයට ඇති බරපතළම ප්‍රශ්නයයි. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට සරිලන ප්‍රතිවාදියකු සොයාගැනීම එංගලන්තයට ප්‍රශ්නයක් වී තිබේ. අදිල් රෂීඩ්ගේ අවසන් වි-20 අන්තර්ජාතික තරග 15 දීම ඔහු දවාගෙන ඇත්තේ කඩුලු 8 ක් පමණි. ඒ අතරවාරයේදී, ඕවරයකට ලකුණු 8.7 ක් බැගින් ලකුණු විශාල ලකුණු සංඛ්‍යාවක් ද රෂීඩ්ගෙන් පිතිකරුවන් ලබාගෙන තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අදිල් රෂීඩ්ගෙන් ලකුණු 89 ක් ලබාගැනීමට පිතිකරුවන් සමත්වී ඇතත් එකම කඩුල්ලක් හෝ දවාගැනීමට ඔහු සමත්ව නැත. එහෙත් වනිඳු හසරංග, කඩුලු 13 ක් මල්ලට දමා ගනිමින්, පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටී.

 


අදහස් (0)

ජයග්‍රහණයකින් ගමන නිමා කිරීමේ අපේක්‍ෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.