Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 එංගලන්තය කලබලයකින් තොරවම ජයගනී
ශ්‍රී ලංකා - එංගලන්ත තරගය

එංගලන්තය කලබලයකින් තොරවම ජයගනී

editorial - 2022 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉලක්කය අසීරු නොවූ නමුත්, සැලසුම් සහගත තරගයකට අවතීර්ණ වූ එංගලන්තය, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පන්දු දෙකක් ඉතිරිව තිබියදී, කඩුලු 4 කින් ශ්‍රි ලංකාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායමට අවශ්‍ය ප්‍රධාන සාධකය වූයේ තරගය ජයගැනීමයි.

එමගින් තමන්ගේ ශුද්ධ ලකුණු වේගය ධන අගයන් අතරේ රැඳී තිබෙන බැවින්, ඔව්හු කලබලයකින් තොරව සිය ඉලක්කය කරා ගියහ.

මෙම තරගයේදී එංගලන්තය ලබාගත් ජයත් සමගින්, සුපිරි 12 දෙනාගේ වටයේ I වැනි කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින නවසීලන්තය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 7 ක් බැගින් සම තත්ත්වයට පත්විය. එහෙත් එංගලන්තය (+0.473) සතු ධන ශුද්ධ ලකුණු වේගය හේතුවෙන් ඕස්ට්‍රේලියාව (-0.173) අභිබවා අවසන් පූර්ව වටයට එංගලන්තය සුදුසුකම් ලබාගත්තේය.

ලකුණු 142 ක ඉලක්කයක් කරා යාමේදී, එංගලන්තය සිය පළමු ඕවරයේදී ලබාගත්තේ ලකුණු 03 ක් පමණි. එහෙත් ඊළඟ ඕවර 5 න් ලකුණු 67 ක් උදුරාගත් ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් සිය ඉනිමට සාර්ථක පදනමක් දමාගත්හ. ශ්‍රී ලංකාව සතු විතීවි අවස්ථාවක් ලබාගත් නමුත් එයින්ද ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් අයකු දවාගත නොහැකි විය.

ප්‍රහාරාත්මක ඕවර 6 නිමා වීමෙන් පසුව එංගලන්ත පිතිකරුවන් කිසියම් පාලනයකට නතුකරගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ, 7 වැනි ඕවරයේ සිට 12 වැන්න දක්වා ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 28 ක් පමණි. ඒ අතරවාරයේදී ප්‍රහාරකයන් දෙදෙනා වූ ඇලෙක්ස් හේල්ස් (47) සහ ජොස් බට්ලර් (28) දෙදෙනාම දවාගැනීමට වනිඳු හසරංගට හැකිවිය.

පිතිකරුවකු ලෙසින් අද දිනයේ වැඩි යමක් කළ නොහැකි වූවත්, පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට සහනය ගෙනා ධනංජය ද සිල්වා සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකර ගත්තේය. මේ අතරවාරයේදී බෙන් ස්ටෝක්ස් සිය කඩුල්ල පුද නොදී, අවසන් මොහොත දක්වාම එය ආරක්‍ෂා කරගත්තේය.

මෙම ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ එක දිගට ලබාගත් 8 වැනි විස්සයි-20 ජයග්‍රහණයද වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී, අවසන් වරට එංගලන්තය පරාජය කළේ 2014 දී ලන්ඩන් ඕවල් පිටියේදීය.

තරගාවලිය පුරාම, දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි අදිල් රෂීඩ් ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගයේදී සිය පළමු කඩුල්ල දවාගත්තේ පැතුම් නිස්සංක ආපසු ක්‍රීඩාගාරයට යවමිනි. රෂීඩ් ශ්‍රී ලංකාවට කළ විශාලම හානිය වූයේ ඔහුගේ පන්දු 24 ලකුණු 16 කට සීමා කිරීමයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් ඉවක් බවක් නැතිව පන්දුවට පහර දෙමින් සිටි මොහොතක පන්දුව අතට ගත් අදිල් රෂීඩ්, ශ්‍රී ලංකාවේ ලකුණු ගලනය පාලනය කිරීම හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තේය.

පළමු ඕවරයේ සිටම, චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක, ප්‍රහාරය සඳහා කදිම වේදිකාවක් සකස් කර දුන් නමුත් මැද පෙළ පිතිකරුවන්ට එයින් ප්‍රයෝජන ගැනීමට නොහැකි වූ බැවින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 141 කට සීමා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ඕවර 4 ලකුණු 21 කට සීමාකරගත් එංගලන්ත පන්දු යවන්නෝ සිය ප්‍රතිවාදීන් ලකුණු 141 දී නතර කරගත්තා පමණක් නොව, පන්දු 13 ඇතුළත කඩුලු 4 ක්ම දවාගත්හ.

විශිෂ්ට පිතිහරඹයකින් පසුව, 16 වැනි ඕවරයේදී, පැතුම් නිස්සංක ලකුණු 67 කට දැවී යන්නේ පසුපෙළ පිතිකරුවන්ට අවශ්‍ය වේදිකාව සකස් කර දීමෙන් අනතුරුවය. පන්දු 45 කින් ලකුණු 67 ක් ලබාගත් දකුණත් ආරම්භක පිතිකරුවාගේ ඉනිමට ඇතුළත් වූ හතරේ පහර සංඛ්‍යාව 2 කි. හයේ පහර සංඛ්‍යාව 5 කි.

කුසල් මෙන්ඩිස් මෙන්ම ධනංජය ද සිල්වාත් දැවී ගියේ හතරේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් සිට, අති විශිෂ්ට අන්දමින් රැකගත් උඩපන්දු දෙකකිනි. එංගලන්තයේ පන්දු රැකීම එවන් විශිෂ්ට තත්ත්වයක තිබියදීත් ශ්‍රී ලංකා පිතිකරුවෝ වේගවත් ගමනක නිරතව සිටියද නිස්සංක දැවී යාමෙන් පසුව ලකුණු ගලා ඒම ක්‍ෂණයකින් පහළ වැටිණ.

නිස්සංක පිටියේ සිටියදී 7.73 ක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම් ලකුණු ලබාගැනීමේ වේගය නිස්සංක දැවී යාමෙන් පසුව 5.00 ක් දක්වා පහත වැටිණ.

 

 

 


අදහස් (0)

එංගලන්තය කලබලයකින් තොරවම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.