
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ රග්බි ලීගයේ හයවැනි සතියේ තරගයක් ලෙස මහනුවර ක්රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජය අතර ඉකුත් ඉරිදා (21 වැනිදා) නිත්තවෙල රග්බි ක්රීඩාංගණයේදී පැවැති තරගයේදී ප්රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ ගිහාන් යටවර මහතා ලබාදුන් විනිශ්චයන්වලට නොසතුට පළ කරමින් සහ ඔහුට එරෙහිව චෝදනා ගොනු කරමින් ශ්රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්ර ප්රනාන්දු මහතාට ලිපියක් යොමුකිරීමට මහනුවර ක්රීඩා සමාජය පියවර ගෙන තිබේ.
මහනුවර ක්රීඩා සමාජයේ ලේකම් සුජීව ලියනගේ මහතා විසින් යොමුකරනු ලැබ ඇති මෙම ලිපිය මගින් උක්ත තරගයේදී යටවර මහතා විනිසුරු තීරණ ලබාදීමේදී නිසි ක්රමවේදයන් අනුගමනය කර ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මින් ඉදිරියේදී ඔහු මහනුවර ක්රීඩා සමාජය තරග වදිනු තරග විනිශ්චය කිරීම සඳහා පත්නොකරන ලෙසත් ශ්රී ලංකා රග්බි සංගමයෙන් ඉල්ලීම් කර තිබේ.
එම ලිපියට අනුව තරගයේ 75 වැනි විනාඩියේදී මහනුවර ක්රීඩකයකු ලබාගත් උත්සාහක දිනුමක් තහවුරු කරගැනීම සඳහා එය රූපවාහිණී විනිසුරුවරයාට යොමුකිරීමට යටවර මහතා පියවර ගෙන ඇති අතර දර්ෂන වාර කිහිපයක් නැරඹීමෙන් අනතුරුව ඔහුට පිළිතුරු දෙමින් එය උත්සාහක දිනුමක් ලෙස තහවුරු කරන ලෙස රූපවාහිණී විනිසුරුවරයා උපදෙස් ලබාදී ඇත. එහෙත් එම උපදෙස් නොසලකා හරිමින් ප්රධාන විනිසුරුවරයා එය උත්සාහක දිනුමක් ලෙස තහවුරු කිරීම ප්රතික්ෂේප කර ඇත.
එම තීරණය තරගයේ ප්රතිඵලයට ඍජුවම බලපෑ බවත්, එහිදී රූපවාහිණී විනිසුරුවරයා ලබාදුන් උපදෙස් අනුගමන කරමින් ප්රධාන විනිසුරුවරයා එය උත්සාහක දිනුමක් ලෙස තහවුරු කර තිබුණා නම් තරගය ලකුණු 24-24 ක් ලෙස සම නොවී, මහනුවර ක්රීඩා සමාජයට ජයග්රහණය හිමිකර දෙමින් නිමාවට පත්වනු ඇති බවත් ලේකම්වරයා මෙම ලිපිය ඔස්සේ පෙන්වා දෙයි.
මෙම තරගයේදී පමණක් නොව මින් පෙරද මහනුවර ක්රීඩා සමාජය තරග වැදුණු තරගවලදී යටවර මහතා ලබාදුන් ඇතැම් තීරණ එකඟ විය නොහැකි මට්ටමේ තීරණ බවත්, ඒවා නිසි ක්රමවේදයකට අනුකූලව සහ අපක්ෂපාතීත්වයකින් යුතුව ලබාදුන් තීරණ නොවන බවටත් සඳහන් කරමින් මෙම ලිපිය ඔස්සේ මහනුවර ක්රීඩා සමාජයේ ලේකම්වරයා, යටවර මහතාට එරෙහිව චෝදනා ගොනුකර සිටියි.
එබැවින් එම කරුණු කාරණා සැලකිල්ලට ගෙන ඉදිරියේදී මහනුවර ක්රීඩා සමාජය ක්රීඩා කරන තරග පමණක් නොව, තරගාවලියේ සාධාරණත්වය, විශ්වාසනීයත්වය සහ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම වෙනුවෙන් පළමු කොටසේ රග්බි තරග සඳහා විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට යටවර මහතාට ලබාදී ඇති අඛණ්ඩ පත්වීම පිළිබඳව නැවත සලකා බලන ලෙසත් මහනුවර ක්රීඩා සමාජය ලිපිය ඔස්සේ වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.
ශ්රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයන් දෙපළක් වන ෆසිල් මරිජා මහතා සහ යෝෂිත රාජපක්ෂ මහතා පිළිවෙළින් මහනුවර ක්රීඩා සමාජයේ සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජයේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති. දෙපිල අතර පැවැති තරගයක් සමව අවසන් වූයේ වසර 8 කට පසුවය. එතැන් සිට මේ දක්වා එක් අවස්ථාවකදී හෝ මහනුවර ක්රීඩා සමාජය පරාජය කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජය සමත්ව නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.