Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඇමතිගේ කමිටුවට එරෙහිව ඔලිම්පික් ලේකම් ලෝක ලොක්කන්ට ලියයි
රග්බි අර්බුදය

ඇමතිගේ කමිටුවට එරෙහිව ඔලිම්පික් ලේකම් ලෝක ලොක්කන්ට ලියයි

editorial - 2023 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ පාලන තන්ත්‍රය ලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පිළිගන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ රග්බි ස්ථාවරකරණ කමිටුව නොව, නියම ආකාරයට තේරී පත්වූ ශ්‍රී ලංකා රග්බි සංගමය බව එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ලෝක රග්බි (සම්මේලනය) වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියි.

මේ වන විට පවතින ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථාවට අනුව එම සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය පැවැති බවද, එහිදී සභාපතිවරයා ලෙස රිස්ලි ඉල්ලියාස් මහතා තේරී පත්වූ බවත්, සෙසු නිලධාරී මණ්ඩලයද නිල වශයෙන් තනතුරු සඳහා තේරී පත්වූ බවත් ඔලිම්පික් කමිටු ලේකම්වරයාගේ ලිපියේ සඳහන් වේ.

මෙම ලිපිය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මෙන්ම ආසියානු ඔලිම්පික් කමිටුවේ අවධානය සඳහාද යොමුකර ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය වන්නේද අමාත්‍යවරයා විසින් පත්කරන ලද කිසිදු ස්ථාවරකරණ හෝ අතුරු කමිටුවක් පිළිනොගන්නා බවත්, නිල වශයෙන් තේරී පත්වූ රග්බි සංගමය පිළිගන්නා බවත් යන්නද ලිපියේ අන්තර්ගත වේ.

ලෝක රග්බි (සම්මේලනය) වෙත යවන ලද මෙම ලිපියේ පිටපත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්, ආසියානු ඔලිම්පික් කමිටුවේ ලේකම්, ආසියානු රග්බි සංගමයේ සභාපති, ලෝක රග්බි සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්, වැඩ බලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් යන අයටද යොමු කිරීමට මැක්ස්වෙල් මහතා පියවර ගෙන ඇත.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32(ආ) සහ 33 යන වගන්ති යටතේ ඔහුට පැවරී ඇති බලතලවලට අනුව අප්‍රේල් මස 11 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලන කටයුතු මෙහෙයවීම සඳහා සාමාජිකයන් 9 දෙනකුගෙන් සමන්විත ස්ථාවරකරණ කමිටුවක් පත්කළේය.

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කර, පසු කළෙක ශ්‍රී ලංකා රග්බි සංගමයේ සාමාජිකත්වයද දැරූ චූලා ධර්මදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ ලේකම්වරයා ලෙස ජානාධිපති උපදේශක ශානක රණසිංහ මහතාද, භාණ්ඩාගාරිකවරයා ලෙස තුසිත පීරිස් මහතාද නම්කර තිබූ අතර දමිත් විතාරණගේ, කිෂාන් මුසාෆර්, ශවන්ත ද සේරම්, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ සුනිල් රණසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපති ඉල්ලියාස් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා රග්බි ආයතනයට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ක්‍රීඩා අමාත්‍යාංශය දෙවතාවක් නීති විරෝධී ලෙස සිය පාලනය අත්හිටුවීම හෙළා දැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවට සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත මෙම ලිපිය යොමු කර ඇති බවය.

(ඡායාරූපය - ලහිරු හර්ෂණ)


අදහස් (0)

ඇමතිගේ කමිටුවට එරෙහිව ඔලිම්පික් ලේකම් ලෝක ලොක්කන්ට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.