Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නායිකාව නොමැතිව රග්බි පිල කොරියාවෙන් පිටවෙයි

නායිකාව නොමැතිව රග්බි පිල කොරියාවෙන් පිටවෙයි

editorial - 2022 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 (ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉංචියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට පැමිණි ශ්‍රි ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා කණ්ඩායමේ නායිකාව නොමැතිව අද(14 වැනිදා) රාත්‍රී 11.30 ට පමණ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියහ. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 12 දෙනෙක්, ක්‍රීඩිකාවන් 12 දෙනෙක්, පුහුණුකරුවන් දෙදෙනෙක්, කළමනාකරුවකු, කළමනාකාරියක, භෞතචිකිත්සකවරයකු සහ සම්බාහකවරයකු ඇතුළත් වූහ.

තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ඉරිදා (13 වැනිදා) පස්වරුවේ අතුරුදන් වූ කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ සෙවීම සඳහා ඉන්චෝන් නුවර නම්දොංගු පොලිසියත්, කොරියානු රහස් පොලිස් ඒකකයත් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළහ. කෙසේ වුවත් ඊයේ පස්වරු 5.00 ට පමණ කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඉන්චෝන් ගුවන්තොටුපළ බලා පිටත්ව යන තෙක්ම පොලිසියට දුලානි සොයාගත නොහැකිව තිබිණ.

"ඇයට අනතුරක් සිදුවූ බවට මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා ඇය කොරියාවේ වාසය කරන ඇගේ හිතවතකුගේ සහාය ඇතිව කණ්ඩායම මඟහැර යන්න ඇති කියලා.“

“සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකාරිගෙන් සහ අවසන් වරට ඇය සමග සිටි ක්‍රීඩිකාවන්ගෙන් අපි ප්‍රකාශ ලබගත්තා. ඇයට විසා ලැබිලා තියෙන්නෙ දවස් 10 කට නිසා ඇයව සොයා ගැනීම සඳහා දිගටම මෙහෙයුම් ක්‍රියත්මක කරනවා." යැයි නම්දොංගු පොලිස් නිලධාරියකු පැවසීය.

අතුරුදහන් වී ඇති ක්‍රීඩිකාව තරගාවලිය නිමා වීමෙන් අනතුරුව සිය මුඛ ආරක්ෂක උපාංගය නැති වූ බව කියමින් එය සෙවීම සඳහා තවත් තවත් ක්‍රිඩිකාවන් දෙදෙනකු සමග ප්‍රධාන ක්‍රීඩාංගණයේ සිට පුහුණුවීම් කරන ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. එලෙස පිටව ගොස් ඇති ක්‍රීඩිකාවන් දෙ‍දෙනකු පමණක් නැවත ක්‍රීඩිකා විවේකාගාරය වෙත පැමිණ ඇති අතර නායිකාව ප්‍රමාද වීම හේතුවෙන් කණ්ඩායමේ සෙසු ක්‍රිඩිකාවන් සහ නිලධාරීන් ඇය සෙවීමට පියවර ගෙන තිබේ.

තමා සමග මුඛ අවරණය සෙවීම සඳහා පැමිණි සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාට පුහුණු ක්‍රීඩාංගණයේ එක් ප්‍රදේශයක් පරික්ෂාවට ලක්කරන ලෙස උපදෙස් ලබා දී ඇති දුලානි, ඒ අතරතුර තමා ක්‍රීඩාංගණයේ අනෙක් පස පරික්ෂාවට ලක්කරන බවද ඔවුන්ට පවසා ඇත. කෙසේ වුවත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා අදාල ප්‍රදේශය පරික්ෂාවට ලක්කර නැවත පැමිණෙන විට දුලානි පෙර සිටි ස්ථානයේ නොසිටි බව එම ක්‍රීඩිකාවන් පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සටහන්ව තිබේ.

 අතුරුදහන් වීමට පෙර දුලානි යම් අසනීප තත්ත්වයක් සඳහා ‍‍ඖෂධ ලබාගත් බවද, අවසන් වරට දකින විට ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල කමිසය සහ කලිසමක් සමග කළු පැහැති ජැකට්ටුවක් පැළඳ පිටේ එල්ලාගෙන යන බෑගයක් සහිතව සිටි බවද කණ්ඩායමේ කළමණාකාරිණය පොලිසියට පවසා ඇත.

කාන්තා කණ්ඩායම සහභාගි වූ අවසන් තරගයෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අසියානු තරගාවලියේ මීළඟ අදියර සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී දුලානි කියා සිටියේ “මං හිතනවා අපි නැතත් ඉස්සරහට ඉන්න ක්‍රීඩිකාවො හොඳ දෙයක් කරයි කියලා” යනුවෙනි.  
 
තරගාවලියේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩ‍ය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට චීනය හමුවේ ලකුණු 55-00 ක් ලෙසද, හොං කොං කණ්ඩායමට එරෙහිව ලකුණු 47-00 ක් ලෙසද, කසකස්තානයට එරෙහිව ලකුණු 46-00 ක් ලෙසද පරාජයට පත්වීම හේතුවෙන් කුසලාන ශූරතාවෙන් ඉවත්ව පළඟ ශූරතාව වෙනුවෙන් (තරගාවලියේ අවසන් ස්ථාන 4 වෙනුවෙන්) තරග වැදීමට සිදුවිය.  

පළඟ ශූරතාව සඳහා පැවැති අවසන් පූර්ව තරගයේ අවසන් මොහොතේදී මැලේසියාවට ‍එරෙහිව ලකුණු 17-14 ක් ලෙස ජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේද දුලානි ලබාගත් උත්සාහක දිනුමක් හේතුවෙනි. කෙසේ වුවත් අවසන් තරගයේදී හොං කෙං කණ්ඩායම හමුවේ ලකුණු 43-07 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළඟ අනු ශූරතාවෙන් (තරගාවලියේ 6 වැනි ස්ථානයෙන්) සෑහීමකට පත්වීමට සිදුවිය.

රටවල් 8 ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ ඉන්චෝන් නුවරදී පැවැති ‍මෙම තරගාවලියේ කාන්තා අංශයේ කුසලාන ශූරතාව දිනාගැනීමට ජපානය සමත් වූයේ අවසන් මහ තරගයේදී ලකුණු 19-14 ක් ලෙස චීනය පරාජය කරමිනි. තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේදී කසකස්තානයට එරෙහිව ලකුණු 26-06 ක පහසු ජයක් වාර්තා කිරීමට තායිලන්තය සමත් විය.


අදහස් (0)

නායිකාව නොමැතිව රග්බි පිල කොරියාවෙන් පිටවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.