Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නිලධාරින්ට ඇඟිල්ල දිගු කරමින් සුජාන් පෙරේරා ඉල්ලා අස්වෙයි

නිලධාරින්ට ඇඟිල්ල දිගු කරමින් සුජාන් පෙරේරා ඉල්ලා අස්වෙයි

editorial - 2023 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කරවා ගැනීමට නිලධාරීන් අපොහොසත් වීමෙන් මෙරට පාපන්දු ක්‍රීඩාව බරපතළ පරිහානියකට පත්ව ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වයෙන් තමා ඉවත් වීමට තීරණය කර ඇතැයි සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට ලිපියක් යොමු කරමින් පවසයි.

මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන සුජාන් පෙරේරා, ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා ද වන අතර, මේ දක්වා ජාත්‍යන්තර තරග 41කට ක්‍රීඩා කර ඇත. ඔහු වසර ගණනාවක් තිස්සේ මාලදිවයිනේ වෘත්තීයමය පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ට්‍රස්ට් ඇන්ඩ් කෙයාර් (ටී.සී.) කණ්ඩායමට ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති දාතමින් පසුගිය බ්‍රහස්පතින්දා (18) විවේචනාත්මක අදහහස් ඇතුළත් ලිපියක් යොමු කරන සුජාන්, එහිදී වැඩිදුරටත් අවධානය කර ඇත්තේ, තමන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වයේ දිගටම රඳවා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, නිලධාරීන් ස්වයං විවේචනයකට යොමු වෙමින් ක්‍රීඩකයන් වෙත කනගාටුව පළ කර සිටිය යුතු බවයි.

මෙරට ප්‍රමුඛතම පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයකම ක්‍රීඩා කර ඇති ඔහු, අවසන් වරට (2022) සුපර්ලීග් තරගාවලියේදී නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය. ගුවන් හමුදා (බ්ලූ ඊගල්ස්), ක්‍රි.ස. හා කළුතර පාක් ඔහු මෙරට ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩා සමාජ තවත් කිහිපයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමෙන් පසුව තමා නායකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රසිද්ධ කරන බවත් අවධාරණය කරන ඔහු, මෙතෙක් කලක් තමා රටට ලබාදුන් සේවය ගැන තෘප්තිමත් වන බවත් පවසයි. ආසන්නතම ලෙස ඔහු 2021-22 ආසියානු කුසලාන සුදුසුකම්, 2021 සාෆ් ශූරතාවලිය, 2022 අගමැති කුසලාන සිව් කොන් යන ජාත්‍යන්තර පාපන්දු තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරීය. මෙම තරග කාලයේදී ඔහු විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ් පත් තුනක් ලබා තිබේ.

ආසියානු කුසලාන සුදුසුකම් තරග වටයේ (2022) එක් තරගයකදී ඔහු පිට පිටම විනිසුරු වෙතින් කහ කාඩ්පත් දෙකක් ලැබීමෙන් එහි ඊළඟ තරගය ඔහුට අහිමි විය.


අදහස් (0)

නිලධාරින්ට ඇඟිල්ල දිගු කරමින් සුජාන් පෙරේරා ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.