Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සාග් ක්‍රීඩා උළෙල 2023 මාර්තුවේදී

සාග් ක්‍රීඩා උළෙල 2023 මාර්තුවේදී

editorial - 2022 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 20කට පසුව පාකිස්තානය සත්කාරය දරන 14 වැනි සාග් ක්‍රීඩා උළෙල වසර 2023 මාර්තු මාසයේදී ‘‘ලාහෝර්’’ නුවරදී පැවැත්වීමට දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මූලික සැලසුම් සාකච්ඡා කෙරෙන දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනයේ විශේෂ විධායක සභා රැස්වීමක් ‘‘සූම්’’ තාක්ෂණය ඔස්සේ තව නොබෝ දිනකින් පැවැත්වීමට තීරණය කර තිබේ.

කෙසේ වුවත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත දිනයක් තහවුරු කර නැත.වසර 2023 සාග් ක්‍රීඩා උළෙල පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් ප්‍රධාන නගරයේ පැවැත්වීමේදී එහි ක්‍රීඩා ඉසව් කිහිපයක් ෆයිසලාබාද්, ගුජරන්වලා, ඉස්ලාමාබාද් හා සියල්කොට් යන නගරවලදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

1989 ඉස්ලාමාබාද් නුවරදී පැවති සිව් වැනි සාග් (එවකට සාෆ්) ක්‍රීඩා උළෙලටත් 2004 නැවතත් ඉස්ලාමාබාද් නුවරදී පැවැති නව වැනි සාග් ක්‍රීඩා උළෙටත් මීට පෙර පාකිස්තානය සත්කාරය දරා තිබේ.

කෙසේ වුවත් පසුකාලීනව ක්‍රීඩා උළෙලේ සත්කාරය ලබාගැනීමට පාකිස්තානය දැරූ උත්සාහයන් සාර්ථක නොවූයේ, එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය සෑහීමකට පත් නොවූ බැවිනි.

අවසන් වරට 13 වැනි සාග් ක්‍රීඩා උළෙල වසර 2019 දෙසැම්බර් 1 සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වුණි. 14 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ ප්‍රමාදයට පසුගිය වසර දෙකේදී උද්ගතවූ කොවිඩ් වසංගත තත්ත්වය ද බලපෑමක් කළේය.

දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය මෙම කලාපීය ක්‍රීඩා උළෙල වසර දෙකකට වරක් පැවැත්වීමට ගිවිස ගත්තත්, එය 1995 මදුරාසි නුවර පැවැති හත් වැනි ක්‍රීඩා උළෙලෙන් පසුව සාර්ථක වී නැත.

එයින් පසුව අට වැනි සාග් ක්‍රීඩා උළෙල 1999 කත්මන්ඩු නුවරදී පැවැත්වීමට තවත් වසර තුනක් ගත විය. එයින් පසුව ක්‍රීඩා උළෙල නැවත පවත්වා ඇත්තේ 2004 (ඉස්ලාමාබාද්), 2006 (කොළඹ), 2010 (ඩැකා), 2016 (ගුවහාති) හා 2019 (කත්මණ්ඩු) යන වසරවලදීය.

මෙම තත්ත්වයන් තුළ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට හිමිව තිබූ ජාත්‍යන්තර ප්‍රමිතිය ගිලිහී ගොස් ඇතැයිද වාර්තා වේ. එහි ආසන්නතම සිදුවීමක් වන්නේ, ලෝක මලල ක්‍රීඩා ආයතනය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රසාද ලකුණු හිමිවන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉවත් කිරීමය. ඉසව් සඳහා අවම රටවල් ගණනක සහභාගිවීමත්, ඊට හේතුවක් වී තිබේ. ඒ අතර කලාපයේ බලවතා වන ඉන්දියාවේ මෙම ක්‍රීඩා උළෙල කෙරෙහි පවතින උනන්දුව පසුකාලීනව වඩාත් අවම වී තිබේ.

ඔවුන් බොහෝ විට ආසියානු කලාපයේ තරග සහභාගිත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ක්‍රීඩා උළෙල සඳහා දෙවැනි පෙළ කණ්ඩායම් සහභාගි කිරීමට උනන්දුවී සිටියි. ක්‍රීඩා උළෙලේ ඔවුන්ගේ මේ දක්වා සමස්ත ජයග්‍රහණයට එය බාධාවක් වී නොමැත.

මේ දක්වා පැවති උළෙලවලදී ඉන්දියාවේ රන් පදක්කම් සමස්ත එකතුව 1263කි. පාකිස්තානය රන් පදක්කම් 297ක් හා ශ්‍රී ලංකාව රන් පදක්කම් 250ක්ද ඒ වන විට දිනා තිබේ.

අවසන් වරට පැවැති 2019 කන්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේ සංශෝධිත පදක්කම් සටහනට අනුව ඉන්දියාව රන් පදක්කම් 175ක්, සත්කාරක නේපාලය රන් පදක්කම් 51ක් හා ශ්‍රී ලංකාව රන් පදක්කම් 40ක් දිනා පළමු, දෙවැනි හා තෙවැනි ස්ථානය ලැබූහ.

කෙසේ වුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා නියැදි විමර්ෂණ නිගමනවලින් පසුව ඉන්දියාවේ රන් පදක්කම් ගණන 173 සිට 175ක් දක්වා ඉහළ ගියේය.

ඒ අතර සිව් වැනි ස්ථානයට පත්ව සිටි පාකිස්තානයේ රන්  පදක්කම් 32ක් 30ක් දක්වා අවම විය.


අදහස් (0)

සාග් ක්‍රීඩා උළෙල 2023 මාර්තුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.