Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු බේස්බෝල් ශූරතාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු බේස්බෝල් ශූරතාවලිය අහිමි වෙයි

editorial - 2025 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

තායිලන්තයේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී 5 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායමට මෙම වසරේදී (2025) පැවැත්වීමට නියමිත ආසියානු කාන්තා බේස්බෝල් ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. 

‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ‘ඒ’ කණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, මුලික වටයේදී ඉන්දියාව හමුවේ ලකුණු 14-4 ක් ලෙසත්, ඉරානය හමුවේ 13-0 ක් ලෙසත්, පාකිස්තානය හමුවේ ලකුණු 10-5 ක් ලෙසත් පරාජයට පත්වූහ. 

ඉන් අනතුරුව පැවැති ශ්‍රේණිගත කිරීමේ වටයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 16-5 ක් ලෙස ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, කාම්බෝජයට එරෙහිව ලකුණු 28-8 ක ජයක්ද ලබමින් තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 8 අතරින් 5 වැනි ස්ථානයට පත් වූහ. 

ශ්‍රේණිගත කිරීමේ වටය අවසානයේ පිළිවෙළින් තරගාවලියේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත් වූ ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය සහ පාකිස්තානය ආසියානු කාන්තා බේස්බෝල් ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තේය. මූලික වටයේදී ඉන්දියාව සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයෙන්ද, ඉන්දුනීසියාව සහ තායිලන්තය ‘බී’ කාණ්ඩයෙන්ද තරග වැදිණ. 

ආසියානු කාන්තා බේස්බෝල් ශ්‍රේණිගත කිරීම්වලට අනුව චීනය, හොං කොං, ජපානය, දකුණු කොරියාව, පිලිපීනය සහ චීන තායිපේ යන රටවල් 6 පෙර සිටම ආසියානු කාන්තා බේස්බෝල් ශූරතාවලියට ඇතුළත්ව සිටියේය. ඒ අනුව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී වරම් හිමිකරගත් කණ්ඩායම් 4 ත් ඇතුළත්ව ආසියානු තරගාවලියේදී කණ්ඩායම් 10 ක් තරග වැදීමට නියමිතය. 

යම් කිසි හේතුවක් මත ඉහත සඳහන් කණ්ඩායම් 10 න් එකක් හෝ ආසියානු තරගාවලියට සහභාගි වීමෙන් වැළකී සිටියහොත් පමණක් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 5 වැනි ස්ථානය ලබා සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එම තරගාවලියට එක්වීම සඳහා අවස්ථාව උදාවනු ඇත. 

(ඡායාරූප - තායිලන්ත බේස්බෝල් සම්මේලනය අනුග්‍රහයෙනි)


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු බේස්බෝල් ශූරතාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.