Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බල්ගේරියානු සංචාරය හදිසියේ නවතී

බල්ගේරියානු සංචාරය හදිසියේ නවතී

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

කොරෝනා වයිරසයේ පැතිරීම හමුවේ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වැඩසටහන් රැසක් නැවත වතාවක් අත්හිටුවීමට සිදුව තිබේ. ආසන්නතම සිදුවීම වන්නේ බල්ගේරියාවේ දී ආරම්භ වූ ඔලිම්පික් සුදුසුකම් තේරීමේ මල්ලවපොර තරගාවලියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වීමයි.

බල්ගේරියාවේ සොෆියා අගනුවරදී ඊයේ (07) ආරම්භ වූ මෙම මල්ලවපොර තරගාවලිය ලබන සඳුදා (10) අවසන් වීමට නියමිතව තිබේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබීමේ ආසන්නයටම පැමිණ සිටි චාමර මිලින්ද පෙරේරා කිලෝ ග්‍රෑම් 65 බර පංතියෙන් ඊට සහභාගී වීමට සූදානමින් සිටියේය. කළමනාකරු ලෙස සරත් හේවාවිතාරණ මහතාත්, පුහුණුකරු ලෙස දිනෙත් කුමාර මහතාත් බල්ගේරියා සංචාරයට සහභාගී වීමට නියමිතව සිටියහ.

ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති ධුරයද දරන සරත් හේවාවිතාරණ මහතා ලංකාදීපයට මෙසේ පැවසීය.

“ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි බල්ගේරියානු තානාපති කාර්යාලයෙන් තමයි අපට සොෆියා නුවරට යන්න වීසා ඉල්ලුම් කරන්න වුණේ. එක් අයෙකුට ඒ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 55,000 ක් වියදම් වුණා.

වීසා අනුමත වුණත් අපිට ගුවන් ගමන් බලපත්‍ර ටික අතට ලැබුණේ පසුවෙලා. ඒ නිසා තරගාවලියට සහභාගී වීමේ අදහස අත්හැර ගන්න අපට සිද්ධ වුණා. අපේ වීසා අනුමැතියට නවදිල්ලි නුවර ප්‍රමාදයට හේතු වුණේ කොවිඩ් උවදුර නිසා බව අපට පැහැදිලියි.

ජපානයේ ටෝකියෝ නුවරදී ලබන ජූලි මාසයේදී ඇරඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවේ මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලබා ගත හැකි තවත් එකම අවස්ථාවක් හිමිව තිබෙන බව සරත් හේවාවිතාරණ මහතා පවසයි.

පෝලන්තයේදී ලබන (ජුනි) මාසයේදී පැවැත්වෙන ඔලිම්පික් සුදුසුකම් තේරීමේ මල්ලවපොර තරගාවලිය සඳහා චාමර මිලින්ද පෙරේරා සහභාගී කිරීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය තවදුරටත් උත්සාහ ගනිමින් සිටියි.

ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව් වැනි ස්ථානයට පත් ක්‍රීඩකයෙකි.
කසකස්ථානයේදී පැවැති ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ද ශ්‍රී ලංකාවේ ඔලිම්පික් අපේක්ෂා බිඳ වැටුණි. ඒ සඳහා බලාපොරොත්තු තබා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගීතිකා වීරබාහුට (කිලෝ ග්‍රෑම් 60 බර පංතිය) අපේක්ෂා කළ දස්කම් අතරට පැමිණීමට නොහැකි වූවාය.

මල්ලවපොර සම්මේලනය වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ දේශීය තරගාවලි හා වැඩසටහන් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබියදී උද්ගත වූ තත්ත්වය වඩාත් කනගාටුදායක බව මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. කෙසේ වුවත් මෙම වසරට නියමිත දේශීය මල්ලවපොර තරගාවලි කීපයක් හෝ පැවැත්වීමට තවදුරටත් උත්සාහ ගන්නා බව ඔහු පවසයි.

 


අදහස් (0)

බල්ගේරියානු සංචාරය හදිසියේ නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.