Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ සම්මේලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බාරයට

එල්ලේ සම්මේලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බාරයට

editorial - 2022 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය (2021-23) පවත්වා අවසන් කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසුව එල්ලේ සම්මේලනය සිය බාරයට ගැනීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා තීරණය කර තිබේ.

එහි අරමුණ ඔහුගේ බාරයේ නිලවරණය පවත්වා, නැවත එල්ලේ සම්මේලනය ස්ථාපිත කිරීමය. එල්ලේ සම්මේලනය ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බාරයට ගැනීමේ ගැසට් නිවේදනය ඒ අනුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ.

මේ වන විට විධායක සභාවේ පාලනයෙන් ගිලිහී තිබෙන එල්ලේ සම්මේලනය මෙතෙක් සභාපති ධුරය දැරුවේ වසර 2020 අගෝස්තු 29 වැනිදා කඩවතදී පැවැති නිලවරණයේදී පත්වීම් ලැබූ ව්‍යාපාරික ජයතිස්ස රුද්‍රිගු මහතායි. කෙසේ වුවත්, එල්ලේ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය (2020-22) සඳහා ඔහු නාමයෝජනා බාරදීමෙන් වැළකී සිටියේය.

ඒ පිළිබඳව ඔහු පැවැසුවේ, සිය පාලන කාලයේදී විධායක සභාවේ ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බැවින්, එල්ලේ සම්මේලනයෙන් මෙතැන් සිට ඉවත්ව සිටීමට තමා තීරණය කළ බවයි.

එල්ලේ සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබියදී එය අත්හිටුවූයේ නිලවරණ කමිටුව ඉල්ලා අස්වීමට ගත් තීරණයත් සමගය.

එහිදී සභාපති ධුරයට හිටපු සභාපතිවරයකු වන, හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර මහතා සමග නාමල් සුරංග මහතා නාමයෝජනා බාර දී තිබුණි.

කෙසේ වුවත්, භාණ්ඩාගාරික ධුරය ඇතුළුව තනතුරු කිහිපයක් සඳහා එහිදී නාමයෝජනා ඉදිරිපත්ව නොතිබූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

එල්ලේ සම්මේලනයේ විධායක සභාව අත්හිටුවන විට ජාතික එල්ලේ ශූරතා තරගාවලියේ අවසන් වටය පැවැත්වෙමින් තිබුණි.

මේ අතර, එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන සිරිල් පෙරේරා මහතා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, වත්මන් ප්‍රශ්නයට විසඳුමක් ලෙස සුදුස්සන්ගෙන් සමන්විත අතුරු පරිපාලන කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන්ටද එහි දී සිරිල් පෙරේරා එම ලිපිය යොමු කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 1990 හා 2000 යන දශකවල එල්ලේ සම්මේලනයේ වගකීම් දැරූ නිලධාරීන් හැටියට එල්ලේ ක්‍රීඩාවේ වත්මන් පරිහානියට වගකිව යුතු නිලධාරීන් පරිපාලනයෙන් ඉවත් කිරීම ක්‍රීඩා ඇමැතිවරයාගේ වගකීමක් ලෙස තමන් සලකන බවයි.

එල්ලේ සම්මේලනයේ නිලවරණයෙන් (2020-22) පත්වූ එහි ලේකම් ප්‍රියන්ත මද්දුමගේ මහතා කලින්ම එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

හිටපු සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා එල්ලේ සම්මේලනයේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව ඔහු පෞද්ගලික වියදම් දරා එතෙක් ඇනහිට තිබූ 2018 ජාතික එල්ලේ තරගාවලියේ අවසන් මහා තරගය පවත්වා අවසන් කිරීමට ද කටයුතු කළේය.

කෙසේ වුවත්, දැනට අත්හිටුවා තිබෙන ජාතික එල්ලේ තරගාවලියේ මුල් වටයේ තරගයකදී කණ්ඩායමක ක්‍රීඩකයන් පිරිසක් විසින් විනිසුරුවරයකුට පහරදීමක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පැවැතුණි.

එහිදී චෝදනාලාභී ක්‍රීඩා සමාජයට එරෙහිව ලබාදුන් තහනමට එරෙහිව එකී ක්‍රීඩා සමාජය එල්ලේ සම්මේලනයට එරෙහිව අධිකරණයේ පැවැරූ නඩුව මෑතකදී ඉල්ලා අස්කරගැනීමට කටයුතු කළේය.

මේ අතර, ජයතිස්ස රුද්‍රිගු මහතාගේ විධායක සභාවේ සංවිධායක ධුරයක් දැරූ නිලධාරියකුට එරෙහිව එල්ල වූ දූෂිත චෝදනා සම්බන්ධයෙන් එල්ලේ විධායක සභාව විසින්ම ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කර තිබිණි.


අදහස් (0)

එල්ලේ සම්මේලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බාරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.