Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ නව සභාපති, කුවේට් ජාතික හුසේන් අල් මුසාලාම් මහතා ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා  නිලධාරීන්ට හිමිවිය යුතු පිළිගැනීම නැවතත් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.  ඒ සඳහා මැදිහත්කරු ලෙස ආසියානු ජල ක්‍රීඩා සංගමය කටයුතු කරන අතර ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු කරන්නේ එහි හිටපු ලේකම්වරයෙකු වන අක්‍රි අමීර් මහතාය. 

ජුනි 5 වැනිදා පැවැති අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් පත්වූයේ එතෙක් එහි උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ කුවේට් ජාතික හුසේන් අල්. මුසාලාම් මහතාය.  ඒ සමගම වසර 2009 සිට එම ධුරයේ කටයුතු කළ ජුලියෝ මැග්ලියොන් මහතාගේ සේවය අවසන් විය. 

කුවේට් ඔලිම්පික් කමිටුවේ වත්මන් මහලේකම්වරයෙකු වන මුසාලාම් මහතා එරට දැන් කල් ගෙවන ප්‍රවීනතම ක්‍රීඩා පරිපාලන නිලධාරිවරයකු වේ. ලෝක ජල ක්‍රීඩා සංගමයේ මුල් පුටුව හොබවන පළමු ආසියාතිකයා බවට පත්වන ඔහු වසර 2004 කොළඹදී පැවැති ආසියානු කලාප වයස් කාණ්ඩ ජල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වූ කුවේට් පිහිණුම් කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ මෙවර නිලවරණය (2021 – 25) ස්විස්ටර්ලන්තයේ පිහිටි අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමයේ මූලස්ථානයේදී පැවැත්වුණි. ඒ සඳහා සාමාජික රටවල් 183 ක නියෝජියෝ ‘‘සූම්’’ තාක්‍ෂණය ඔස්සේ සහභාගී වූහ.  ආසියානු ජල ක්‍රීඩා සංගමය හරහා හුසේන් අල් මුසාලම් මහතාගේ නාමයෝජනාව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. 

අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ විධායක සභාව සාමාජිකයන් 28 දෙනකුගෙන් සමන්විතය. 

අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමය මෙන්ම ආසියානු ජල ක්‍රීඩා සංගමයද ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ වත්මන් විධායක සභාව තවදුරටත් පිළිනොගන්නා බැවින් මෙම කටයුත්තේදී මුසාලම් මහතාගේ නාමයෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එහි හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා විසිනි. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා පරිපාලනයේ සභාපතිවරයා ලෙස අන්තර් ජාතික හා ආසියානු ජල ක්‍රීඩා සංගම් දෙකම තවදුරටත් පිළිගන්නේ මහින්ද ලියනගේ මහතා වීම ඊට හේතුවයි. 

මුසාලම් මහතාගේ නාමයෝජනාව ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අක්‍රි අමීර් මහතා මෙසේ පැවසීය. 
‘‘පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනමක් ගැන මෙරට ඇ.තැම් මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වුණා. නමුත් නිවැරදිව ඒ ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාවට පූර්ණ වශයෙන් ජාත්‍යන්තර තහනමක් පැනවීමට ජාත්‍යන්තර සංගමය ඉදිරිපත් වුණේ නෑ.  මෙතනදී සිදුවුණේ මහින්ද ලියනගේ මහතාගෙන් පසුව පත්වුණු ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනය අන්තර් ජාතික සම්මේලනය පිළි නොගැනීමයි.  

ජල ක්‍රීඩා සංගමයේ  නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වූ බවට චෝදනා කරමින් මේ වනවිට මුසාලම් මහතා එක්ක අපි ආසියානු ජල ක්‍රීඩා සංගමයත් මැදිහත් කර ගනිමින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා නව පරිපාලනය පිළිගැනීමට තිබෙන බාධා ඉවත් කර ගැනීමට සාකච්ඡා කරමින් ඉන්නවා. එය ඉතා ඉක්මණින් පළදරයි කියලා අපට විශ්වාසයි. “ යයි අක්‍රි අමීර් මහතා පැවසීය. 

පසුගිය මැයි 29 වැනිදා පැවැති ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ (2021 – 23) වාර්තාවක් අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ විධායක අධ්‍යක්‍ෂ කොර්නල් මැතියු ලෙස්කියු මහතා වෙත යොමු කිරීමට එම නිලවරණයෙන් යළිත් සභාපති ධුරයට පත්වූ නේතෲ  නානායක්කාර මහතා පියවර ගෙන තිබේ.  නිලවරණය පැවැත්වීමට පෙරත් පූර්ව සූදානම සම්බන්ධයෙන් ඔහු වෙත වාර්තාවක් යැවීමට නේතෲ නානායක්කාර මහතා වැඩිදුරටත් පියවර ගත්තේය. 

ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනයට ජාත්‍යන්තරව පනවා තිබූ බාධාවක් හා තහංචි ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා මීට පෙර අවස්ථාවකදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාද අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයට ලිපියක් යොමු කර තිබුණි. 

ජූලි 23 වැනිදා ටෝකියෝ නුවරදී ආරම්භ වන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් නොලත් නාමලේඛනය (වයිල් කාඩ්) යටතේ පිහිනුම් ක්‍රීඩකයෙකුට හා ක්‍රීඩිකාවකට අවස්ථාව හිමිව තිබේ.  ඒ සඳහා මැතිව් අබේසිංහ හා අනිකා ගෆූර් නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය පියවර ගත්තේය. 

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට අන්තර්ජාතික තහනමක් පවතින්නේ නම් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි වෙයි. එහෙත් එවන් තහනමක් පනවා නැති අතර සිදුව ඇත්තේ වත්මන් ජාතික සංගමයේ නිලධාරීන්ව අන්තර්ජාතික සංගමය විසින් පිළි නොගන්නා තත්ත්වයක් පැවතීම පමණි.


අදහස් (0)

නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.