Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩාල් - ජොකොවික් සටනට සැරසෙති

නඩාල් - ජොකොවික් සටනට සැරසෙති

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ විවෘත තරගාවලියේ ශූරතාව පෙනෙන නොපෙනෙන මායිමේදී තමන්ගේ දරුණුතම ප්‍රතිවාදියා වන රෆායෙල් නඩාල්ට මුහුණ දීමට නොවැක් ජොකොවික්ට සිදුවී තිබේ. හෙට (11 - සිකුරාදා) පැවැත්වෙන ප්‍රංශ විවෘත ශූරතාවලියේ අවසන් පූර්ව තරගය නඩාල් සහ ජොකොවික් දෙදෙනා අතර පැවැත්වෙන 58 වැනි තරගයයි. 

40 වැනි වතාවටත් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියකදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින සර්බියානු ජාතික ජොකොවික් මෙවර එම අවස්ථාව උදාකර ගත්තේ ඉතාලියේ මතාවෝ බෙරටිනි පරාජය කරමිනි. මතාවෝ සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ ලකුණු සටහන් වූයේ 6-3, 6-2, 6-7(5/7) සහ 7-5 ක් ලෙසිනි. ප්‍රංශ විවෘත ශූරතාවලියකදී නම් ඔහුගේ 11 වැනි අවසන් පූර්ව වටය එයයි. ජොකොවික් අවසන් වරට ප්‍රංශ විවෘත ශූරතාව දිනාගන්නා ලද්දේ වසර 2016 දීය. 

ප්‍රංශ විවෘත ශූරතාවලිය 13 වරක් ජයගෙන සිටින ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල්, මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ආර්ජන්ටිනාවේ ඩියාගෝ ෂ්වාර්ට්ස්මන් පරාජය කරමිනි. එහි ලකුණු තත්ත්වය 6-3, 4-6, 6-4 සහ 6-0 ක් ලෙසින් සටහන් විය. මැටි පිටි වලදී ඉතාමත් සාර්ථක තරග වාර්තාවකට හිමිකම් කියන නඩාල්, ප්‍රංශ විවෘත ශූරතාවලියේ අවසන් පූර්ව  වටයට පිවිසි සෑම අවස්ථාවකදීම එය ජයගෙන තිබේ. මෙය ඔහුගේ 35 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් පූර්ව තරගයයි. 

“මා හිතන්නේ මගේ තරග දිවියේදී මා මුහුණ දුන් අසීරුම ප්‍රතිවාදියා ඔහු තමයි. එයාත් එක්ක තරගවදින්න වෙනවා කියන්නේ.... මොන තරගයේ වුණත්, මෙන වගේ මතුපිටක වුණත්, මොන වගේ අවස්ථාවකදී වුණත් ඒක හරිම වෙනස්” යයි අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 හිමි නොවැක් ජොකොවික් පැවසීය. 

දෙදෙනා අතර වසර 15 ක් පුරා පැවැති තරග 57 දී ජයග්‍රහණ 29-28 ක වාසියක් ජොකොවික්ට තිබුණද මැටි සහිත මතුපිටකදී පැවැත්වෙන ප්‍රංශ විවෘත ශූරතාවලියේදී 7-1 ක ජයග්‍රහණ වාර්තාවකට නඩාල් හිමිකම් කියයි. සමස්ත මැටි පිටි තරගවලදී නම් නඩාල්ගේ වාසිය 19-7 කි. 

නඩාල්ට එරෙහිව පැවැති තරගයකදී ජොකොවික් අවසන් වරට ජයගෙන ඇත්තේ වසර 5 කට ඉහත රෝමයේදීය. එහෙත් ප්‍රංශ විවෘත ශූරතාවලියේදී නඩාල්ගේ වාර්තාව තරග 107 කින් 105 ක් ජයගත් ලෙසිනි. එහෙත් පරාජය වූ තරග දෙකින් එකක් වසර 2015 දී ජොකොවික් හමුවේදීය. 

මෙවර ප්‍රංශ විවෘත තරගාවලියේ ශූරයාට හිමිවන සල්ලි මල්ල යුරෝ ලක්‍ෂ 14 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 33.6 කි. අනුශූරයාට හිමිවන සල්ලි මල්ල යුරෝ ලක්‍ෂ 7 ක් හෙවත් රුපියල් කෝටි 16.8 කි. 

 


අදහස් (0)

නඩාල් - ජොකොවික් සටනට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.