Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දේපළ බාරනොදුන් හිටපු සභාපති නිලවරණයට නුසුදුස්සකු වෙයි

දේපළ බාරනොදුන් හිටපු සභාපති නිලවරණයට නුසුදුස්සකු වෙයි

editorial - 2023 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සඳුදා (29) පස්වරු 2ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී කැඳවීමට නියමිත ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නිලවරණයේදී (2023-25) හිටපු සභාපතිවරයකු වන පොලිස් අධිකාරි කමල් සංජීව පෙරේරාගේ නාමයෝජනාව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව විසින් චෝදනා ගණනාවක් මුල්කර ගනිමින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉදිරිපත් වූ විරෝධතාවක් විභාග කළ විශ්‍රාමලත් අභියාචනාකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලකගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් අභියාචනා උපදේශක කමිටුව නිර්දේශ කර ඇත්තේ 2017-19 කාල සීමාවේදී ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපති ධුරයේ  කටයුතු කර ඇති කමල් සංජීව පෙරේරා මහතා එම ධුරයේ වගකීම් විරහිතව කටයුතු කර ඇති බව පැහැදිලි වන බැවින් එවැනි පුද්ගලයකුගේ නාමයෝජනාව නිලවරණයට භාර නොගත යුතු බවට කමිටුව තීරණය කරන බවයි.

මෙම විමර්ශනයේදී ඔහුට එල්ලවූ චෝදනා අතර 1974/105/07 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව දින 14ක් ඇතුළත ජිම්නාස්ටික් සංගමය සතු චංචල හා නිශ්චල දේපළ නව නිලධාරි මණ්ඩලයට බාර නොදීම, මාතර දිස්ත්‍රික් සංගමයේ සාමාජිකයකුව සිටියදී ස්ථිර පදිංචිය කොළඹ දිස්ත්‍රික්කය ලෙස නාම යෝජනා අයැදුම්පතේ දැක්වීම ප්‍රධාන වශයෙන් දක්වා තිබේ.

කෙසේ වුවත් කමල් සංජීව පෙරේරා මහතා අභියාචනා කමිටුව හමුවේ පෙනී සිටිමින් ඔහුගේ නිර්දෝශීභාවයට කරුණු දක්වා තිබේ. එහෙත් කමිටුව ඉන් සෑහීමකට පත්ව නැත. ඔහුගේ ප්‍රකාශයන්ට අනුව ජිම්නාස්ටික් සංගමය සතු ඇතැම් ලිපිලේඛන හා භාණ්ඩ මේ වනවිට බාර දී ඇත.

එවකට ජිම්නාස්ටික් සංගමයට කාර්යාලයක් නොතිබූ බැවින් එහි බඩුබාහිරාදිය තැන් තැන්වල තබා තිබූ බවත් ඒවා තමන් විසින් ලබා ගැනීමක් සිදු නොකළ බැවින්ද එම භාණ්ඩ බාරදීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් විමර්ශනයේදී ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වුවත් ඔහුගේ මෙම ප්‍රකාශයන් ගැන පුදුමයට පත්වන බව දක්වා ඇති අභියාචනා කමිටුව එය වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙස නිර්දේශ ලිපියේ දක්වා තිබේ. මෙම තත්ත්වයන් තුළ ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාව පිළිගන්නා බවත් ඔහු නාමයෝජනාව ඉදිරිපත් කිරීමට මෙන්ම පත්වීම් සඳහා ද නුසුදුස්සකු වන බවත් අභියාචනා උපදේශක කමිටුව නිර්දේශ කර තිබේ.

මෙහි සෙසු සාමාජිකයන් වන නීතිඥ සිරිපාල  විරිතමුල්ල, නීතිඥ ජයන්ති රුද්‍රිගු හා නීතිඥ ගයාල් කලටුවාව යන මහත්ම මහත්මීන් ලිපියට අත්සන් තබා තිබේ. ඊට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

සඳුදා  පැවැත්වෙන ජිම්නාස්ටික් නිලවරණයේදී සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත, හිටපු සභාපති කෝකිල නිමේෂ් කලුආරච්චි යන මහත්වරුද නාමයෝජනා බාරදී  තිබේ.

ප්‍රධාන ලේකම් ධුරයට හිටපු ලේකම්වරයකු හා සංගමයේ පරිපාලන නිලධාරි ධුරය  දැරූ උදාර එස්. ලියන්විල හා අරුණ ප්‍රසාද් යන මහත්වරුන් නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 26කට මෙවර නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට අනුමැතිය ලැබී තිබේ. භාණ්ඩාගාරික ධුරයට සෙල්ලමුත්තු ඉලන්ගෝවන් මහතා නිතරගයෙන් පත්වීමට සමත්ව සිටියි.

උප සභාපති ධුර හතරක් සඳහා නාමයෝජනා 10 කට වැඩි ගණනක් ඉදිරිපත්ව ඇතැයිද  වාර්තාවේ. ජිම්නාස්ටික් සංගමයේ පසුගිය වසර කීපයක් තිස්සේ උද්ගතව  පවතින පරිපාලන ආරවුල් හේතුවෙන් එහි පාලනය පසුගිය පෙබරවාරි මාසයේ සිට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් භාරයට ගන්නා ලදී. ජාතික ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය වසර කීපයක්ම මේ වනවිට පවත්වා නැත. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු උපාලි සමරසිංහ මහතා නිලවරණ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

 


අදහස් (0)

දේපළ බාරනොදුන් හිටපු සභාපති නිලවරණයට නුසුදුස්සකු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.