Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports නරියාකන්ද සුපර් ක්‍රොස් සිවුවැනි වරටත් අවලංගුයි ?

නරියාකන්ද සුපර් ක්‍රොස් සිවුවැනි වරටත් අවලංගුයි ?

editorial - 2023 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වෙන දිවයිනේ පැරණිම සුපර් ක්‍රොස් තරගාවලිය වන නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සිවුවැනි වරටත් අවලංගු කර දැමීමේ තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. 

පසුගිය වසර කිහිපයේදීම මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියට අයත් අනු සංගම් සහ ක්‍රීඩා සමාජ සියල්ල එක්ව මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූ අතර එය සංවිධානය කරනු ලැබුවේ දියතලාව, යුද හමුදා විද්‍යා පීඨය විසිනි. 

සාමාන්‍යයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ අප්‍රේල් මාසයේදී වුවත්, වසර ආරම්භයේ සිටම තරග සංවිධායකයන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට පියවර ගනී. එහෙත් මෙම වසරේ ජනවාරි මාසය අවසන් වන තෙක්ම තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය මූලික පියවර හෝ ගෙන නොතිබීම මත මෙවර තරගාවලිය අවිනිෂ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි තතු දන්නෝ පවසති.  

1993 වසරේ සිට වසර 27 ක් පුරා නොකඩවා පැවැති මෙම තරගාවලිය කොරෝනා වසංගතය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය වසර තුනේදී (2020, 2021 සහ 2022) දින නියමයකින් තොරව කල් දැමුණ අතර පසුව අවලංගු කර දැමිණ. ඒ අනුව මෙම වසරේදීද නරියාකන්ද තරගාවලියද අවලංගු කර දැමුණහොත් එසේ සිදුවන සිවුවැනි අවස්ථාව මෙය වනු ඇත. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියේ සභාපති අෂ්හර් හමීම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ තරගාවලිය සංවිධානය කිරීමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් සිටින බවත්, විවිධ හේතූන් මත පිට පිටම තෙවරක්ම අවලංගු කිරීමට සිදුවූ බැවින් මෙම වසරේදී කෙසේ හෝ තරගාවලිය පැවැත්වීමට තම සංගමය පියවර ගන්නා බවත්ය. 

අවසන් වරට (2019) පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදු වූ අතර තරගාවලිය නතර කරන විට ඊට ඇතුළත්ව තිබූ තරග ඉසව් 24 න් නිමාවට පත්වී තිබුණේ ඉසව් 17 ක් පමණි.


අදහස් (0)

නරියාකන්ද සුපර් ක්‍රොස් සිවුවැනි වරටත් අවලංගුයි ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.