Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports වර්ස්ටපන් යළිත් ජයග්‍රාහී මාවතට
ඉමෝලා ගෝන් ප්‍රී තරගය

වර්ස්ටපන් යළිත් ජයග්‍රාහී මාවතට

editorial - 2022 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාලියේ එමිලියා රොමන්ගා ධාවන පථයේදී ඉකුත් ඉරිදා (24 වැනිදා) පැවැති ගෝන් ප්‍රී තරගය ජයගැනීමට රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත් විය. මෙම වසර (2022) තුළ පැවැත්වෙන ෆෝමියුලා-I තරග මාලාවේ සිවවැනි ගෝන් ප්‍රී තරගය මෙයයි. එහිදී වර්ස්ටපන් ලැබූ ඔහුගේ දෙවැනි ජයග්‍රහණයද මෙය විය.

වට 63 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා වර්ස්ටපන්ට පැය 1 යි, විනාඩි 32 යි, තත්පර 07.986 ක කාලයක් ගතවිය. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 26 ක් ලබාගත් වර්ස්ටපන්, මුලු ලකුණු 59 ක් ලබා ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පැමිණීයේය.

සිය රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් අවසන් වරට (මෙම මස 19 වැනිදා) ඇල්බට් පාක් ධාවන පථයේදී පැවැති ඕස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගය නිමා කිරීමට අසමත් වූ වර්ස්ටපන්, මෙම තරගයේදී ලැබූ ජයග්‍රහණයත් සමග යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 18.793 ක අවම කාලයක් වාර්තා කළ වර්ස්ටපන්, ඉදිරියෙන් සිටිමින් තරගය ආරම්භ කළේය. තරගය තුළදී එක් වටයක් නිමා කිරීමට සඳහා ඔහු වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 18.446 කි.

වර්ස්ටපන්ට වඩා තත්ත්පර 16.527 ක් පසුපසින් තරගය නිමා කළ ඔහුගේ කණ්ඩායම් සගයා වන සර්ගියෝ පෙරේස් තරගයේ දෙවැනි ස්ථානයට පත් විය. මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් මෙ තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ වර්ස්ටපන්ට වඩා තත්ත්පර 34.834 ක් පසුපසින් තරගය නිමා කරමිනි.

තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් පෙරේස්ට ලකුණු 18 ක් හිමිවූ අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් නොරිස්ට ලකුණු 15 ක් හිමිවිය. කෙසේ වුවත් මුලු ලකුණු 86 ක් ලබා තවදුරටත් ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම්හි පෙරමුණ රැකගැනීමට ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක් සමත්ව සිටියි.

ලැක්ලර්ක් සහ කාර්ලෝස් සේන්ස් නියෝජනය කරන ෆෙරාරි කණ්ඩායම තරග 4 ක් අවසානයේ ලකුණු 124 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවේ. වර්ස්ටපන් සහ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං කණ්ඩායම ලකුණු 113 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, ලුවිස් හැමිල්ටන් සහ ජොජ් රසල් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 77 ක් සමග ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේද රැදීසිටිති.

මෙම තරගයෙන් අනතුරුව ඇමරිකානු ගෝන් ප්‍රී තරගාවලිය මැයි මස 8 වැන්දා ෆ්ලොරිඩාහි මියාමි ධාවන පථයේදී පැවැත්වේ. ස්පාඤ්ඤ (22 වැනිදා) සහ මොනාකෝ (29 වැනිදා) ගෝන් ප්‍රී තරගද මැයි මාසයේදීම පැවැත්වෙන අතර අසර්බයිජාන් (12 වැනිදා) සහ කැනඩා (19 වැනිදා) ගෝන් ප්‍රී තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මාසයේදීය.


තරග ප්‍රතිඵල
1 මැක්ස් වර්ස්ටපෙන් (රෙඩ්බුල් රේසිං) - පැය 1:32:07.986
2 සර්ජියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං) - ජයග්‍රාහකයාට තත්ත්පර 16.527 ක් පසුපසින්
3 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 34.834 ක් පසුපසින්
4 ජොජ් රසල් (මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 42.506 ක් පසුපසින්
5 වෙල්ටරි බොටාස් (ඇල්ෆා රෝමියෝ ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 43.181 ක් පසුපසින්
6 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 56.072 ක් පසුපසින්
7 යුකී සුනෝඩා (ඇල්ෆාටවුරි ආර්.බී.පී.ටී.) - ජයග්‍රාහකයාට තත්ත්පර 61110 ක් පසුපසින්
8 සෙබෙස්තියන් වෙට්ල් (ඇස්ටන් මාටින්) - ජයග්‍රාහකයාට තත්ත්පර 70.892 ක් පසුපසින්
9 කෙවින් මග්නුසෙන් (හාස් ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 75.260 ක් පසුපසින්
10 ලාන්ස් ස්ටෝල් (ඇස්ටන් මාටින්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්

-036

 


අදහස් (0)

වර්ස්ටපන් යළිත් ජයග්‍රාහී මාවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.