Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ලැම්බෝගිනි තරගාවලියට යන්න මාලගමුව ලක්ෂ 700ක් සොයයි

ලැම්බෝගිනි තරගාවලියට යන්න මාලගමුව ලක්ෂ 700ක් සොයයි

editorial - 2023 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කරයි. ඒ සඳහා වියදම් සොයා ගැනීම සඳහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි මීගමුව, ඒත්තුකාල, ටික් ටොක් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය එළඹෙන මැයි සිට නොවැම්බර් මාසය දක්වා ඉසව් 12ක් ලෙස ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවලදී පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියේ ජයග්‍රාහකයින් ඇතුළුව යුරෝපා ආසියා සහ ඇමෙරිකානු සුපිරි ලැම්බෝගිනි මෝටර් රථ ශූරතා දිනූ ජයග්‍රාහකයින් අනතුරුව ඉතාලියේ පවත්වන තරග දෙකකින් සමන්විත අවසාන මහා තරගාවලිය සඳහා නිර්දේශ ලබති.

මෙම තරගාවලි සඳහා සහභාගී වීමට තමන්ට රුපියල් ලක්ෂ 2,000 ත් 2,500 ත් අතර මුදලක් වැය වන බවත්, එයින් තමන් රුපියල් ලක්ෂ 700 ක මුදලක් සොයා ගත යුතු බවත්, ඉතිරි මුදල ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් තමන්ට ලබා දෙන බවත් මාධ්‍ය හමුවේදී මාලගමුව මහතා පැවසීය.

එම මුදල් සොයා ගැනීම සඳහා එළඹෙන අප්‍රියෙල් 23 දින සවස 05 ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී මෝටර් රථ ප්‍රදර්ශනයක් සහ එදින රාත්‍රී 07 ට ‘‘රොක් ඇන්ඩ් රේස්”‍ නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද ඔහු පැවසීය.
මෙම මෝටර් රථ ප්‍රදර්ශනයට ඩිලන්ත තරග වැදීම සඳහා මුලින්ම බලපත්‍ර ලබාගත් යතුරුපැදියේ සිට ලෝක ශූරතා ධාවන තරග සඳහා මෙතෙක් ඉදිරිපත් වූ සුපිරි මෝටර් රථ ප්‍රදර්ශනය කෙරේ.

ආධාරක සංගීත ප්‍රසංගය චිත්‍රාල් සෝමපාල, ළහිරු පෙරේරා, උමාරියා සිංහවංශ, කාංචනා අනුරාධි සහ ජය ශ්‍රී ඇතුළු ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම කලාකරුවන් නොමිලේ සහභාගී වෙමින් තමන්ට මෙම තරග සංචාරය සම්පාදනය කර ගැනීමට සහාය වන බව ඩිලන්ත මාලගමුව මහතා පැවසීය.

වසර 36 ක් තිස්සේ රටවල් 180 ක පැවති මෝටර් රථ ධාවන තරගාවලි සඳහා සහභාගී වූ මාලගමුව එයින් තරග 60 ක් පමණ ජයග්‍රහණය කර තිබේ. එම ජයග්‍රහන හමුවේ ශ්‍රී ලංකා ජාතික ගීය එම රටවලදී වාදනය කිරීමට සළස්වා ඇති බවත්, තම මෝටර් රථ ධාවන තරග සඳහා භාවිතා කරන මෝටර් රථයෙහි ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නම සහ ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග අනුග්‍රහය ‘‘නිහතමානී ශ්‍රී ලාංකිකයන්”‍ යනුවෙන් සඳහන්කර තිබේ.

තමන් සපුරා ගැනීමට අපේක්ෂිත තවත් බලාපොරොත්තු කීපයක්ම ඇති බවත්, ඒවා අතර මෙම සුපිරි ලැම්බෝගිනි ලෝක ශූරතාවය දිනා ගැනීම, ලෝක එන්ඩුරන්ස් ශූරතා තරගාවලිය දිනා ගැනීම ඇතුළුව මෙතෙක් දිනා නොගත් මෝටර් රථ ධාවන තරගාවලි කීපයක් ජයග්‍රහණය කිරීම ඒ අතර වන බව ද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන ඩිලන්ගෝ රේසිං පදනම විසින් සංවිධානය කර තිබුණි.


අදහස් (0)

ලැම්බෝගිනි තරගාවලියට යන්න මාලගමුව ලක්ෂ 700ක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.