Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්ෂ 21 මූල්‍ය වංචාව ගැන සොයනවා

ලක්ෂ 21 මූල්‍ය වංචාව ගැන සොයනවා

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කායවර්ධන සම්මේලනයේ රුපියල් ලක්ෂ 21 ක මුදලක් අවභාවිත කරන ලදැයි එහිදී හිටපු සභාපතිවරයකුට එරෙහිව එල්ලව තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව එහි නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ කේ.එම්. ලයනල් කුමාර මහතා පවසයි. ඊට අමතරව කලින් පැවැති පරිපාලනය අයථා අන්දමින් දීර්ඝ කර පවත්වාගෙන ගිය බවට ලැබුණු පැමිණිල්ල පිළිබඳවද සොයා බලන බවත් නව සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය (2021-25) ඉකුත්දා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී වැඩි ඡන්ද 18කින් රේණුක සමන්තිලක මහතා පරාජයට පත්කරමින් ලයනල් කුමාර මහතා එහි නව සභාපතිවරයා ලෙස තේරී පත්විය. ලයනල් කුමාර මහතාට ඡන්ද 21 ක් ලැබුණු අතර රේණුක සමන්තිලක මහතාට ලැබුණේ ඡන්ද 3 කි.

මෙවර කායවර්ධන සම්මේලනයේ නිලවරණයේ විශේෂත්වය වූයේ වසර ගණනාවක් තිස්සේ දිග් ගැසුණු පරිපාලන අර්බුද හේතුවෙන්  එය පැවැත්වීමට වසර හයක් ගතවීමයි. එම තත්ත්වය තුළ මෙවර නිලවරණය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඍජු මැදිහත්වීමෙන් පැවැත්වීමට කටයුතු කෙරුණි. මෙවර නිලවරණය පළමු වතාවට දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත සංගම් වෙත ඡන්ද බලය හිමිකර දෙමින් පැවැත්වීම තවත් විශේෂත්වයක් ගත්තේය. කෙසේ වුවත් ඒ සඳහා සුදුසුකම් ලබාගන්නේ සංගම් අටක් පමණි.

නව සභාපති ලයනල් කුමාර මහතා කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකි. ඔහු එහි උප සභාපතිධුරයක ද කටයුතු කර තිබේ. කොළඹ මහ නගර සභාවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු ලෙස වෘත්තියෙන් කටයුතු කරන ලයනල් කුමාර මහතා කායවර්ධන සම්මේලනයේ දීර්ඝ කාලයක් සභාපති ධුරය දැරූ කපිල කුමාර මහතාගේ වැඩිමහල් සොහොයුරායි.

තනතුරු කීපයක් හැරෙන්නට සෙසු තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්විය. එහිදී ප්‍රධාන ලේකම් ධුරයට නිතරගයෙන් පත්වූයේ මිල්ටන් සිල්වා මහතාය.

උප සභාපති ධුර තුනෙන් දෙකක් පමණක් නිලවරණය අවස්ථාවේදී පිරවීමට කටයුතු කෙරුණි. ඒ සඳහා හිටපු සභාපතිවරයකු වන තිලක් ජයවීර හා ආර්.එම්. බණ්ඩාර මහතා පත්විය. ඊට ඉදිරිපත්ව සිටි තවත් අපේක්ෂකයකු වන සුභාෂ් සිරිවර්ධන මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණේ ඔහු ක්‍රියාකාරී පුහුණුකරුවකු බවට ඉදිරිපත්ව තිබූ විරෝධතාවයක් නිලවරණ කමිටුව පිළිගැනීම හේතුවෙනි.

මේ අතර භාණ්ඩාගාරික ධුරයට ප්‍රධාන ආදායම් පරීක්ෂකවරයකු වන එස්.එල්.එස්. සමන්සිරි මහතා නිතරගයෙන් පත්විය. එසේ වුවත් සහකාර ලේකම් ධුරයට තුන්කොන් සටනක් පැවති අතර එහිදී අපේක්ෂිකාවක් ද ඉදිරිපත්ව සිටීම කැපී පෙනුණි.

කායවර්ධන සම්මේලනයේ නිලවරණයකට ඉදිරිපත් වූ පළමු කාන්තාව වුවත් වර්ජිනියා පීරිස් මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද තුනක් පමණි. ඡන්ද 18ක් ලබා එම ධුරයට පත්වූයේ පී.කේ.කේ. චතුරංග මහතායි. ටී.කේ. කොළොන්නගේ මහතා ද එහිදී ඡන්ද තුනක් ලැබීය.

ඊට ඉදිරිපත්ව සිටි කේ.ජී. තුෂාර මහතාගේ නාමයෝජනාව ක්‍රියාකාරී පුහුණුකරුවකු බවට ඉදිරිපත්ව තිබූ විරෝධතාවය හේතුවෙන් ප්‍රතික්ෂේප විය. වර්ජිනියා පීරිස් මහත්මිය වසර 2004 පැවති ජාතික කායවර්ධන ශූරතා තරගාවලියේ මාංශපේෂී (කාන්තා) ඉසව්වට ඉදිරිපත් වූ හිටපු ක්‍රීඩිකාවකි.

හිටපු සභාපති කිත්සිරි ප්‍රනාන්දු හා හිටපු ලේකම් නිහාල් වීරතුංග යන මහත්වරුන් දෙදෙනාට මෙවර නිලවරණයට ඉදිරිපත්වීමට තිබූ බාධකය වූයේ ගිණුම් වාර්තා විගණනය කර ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ සම්මේලනයේ විධායක සභාවක තනතුරු දැරූවන් ලෙස චෝදනා ලැබීමය. ක්‍රීඩා පනතේ නව රෙගුලාසි අනුව එම චෝදනාව එල්ල වන ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරු දැරූවන්ට නැවත නිලවරණයකදී නාමයෝජනා ඉදිරිපත් කළ නොහැකිය.

කායවර්ධන සම්මේලනයේ නිලවරණයක් මීට පෙර අවසන් වරට පවත්වා ඇත්තේ වසර 2015 මැයි 15 වැනිදාය. එහි හිටපු නිලධාරීන් කීපදෙනකුට එරෙහිව චෝදනා රැසක් මත ක්‍රීඩා අමාත්‍යාංශය විමර්ශන ගණනාවක් පැවැත්වීය. රුපියල් ලක්ෂ 21 ක  මුදලක් අවභාවිත කරන ලදැයි එහිදී හිටපු සභාපතිවරයකුට එරෙහිව එල්ලව තිබෙන චෝදනාව ගැන ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ද විමර්ශනයක් අරඹා තිබේ.

මේ අතර නව සභාපති ලයනල් කුමාර මහතා පැවසුවේ වසර 2015-17 සම්මේලනයේ නිල කාලය තවත් වසරකට ආසන්න කාලයක් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ලැබී තිබෙන පැමිණිල්ලක් පිළිබඳව තමන් කරුණු සොයා බලන බවයි. එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා කායවර්ධන විනිසුරුවන්ගේ සංගමය විසින් බව ද වාර්තා වේ.


අදහස් (0)

ලක්ෂ 21 මූල්‍ය වංචාව ගැන සොයනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.