Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පාපන්දු පිල බෲනායි සංචාරයක

ශ්‍රී ලංකා පාපන්දු පිල බෲනායි සංචාරයක

editorial - 2024 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ශ්‍රී  ලංකා ජාතික  පාපන්දු  කණ්ඩායම  අද  (5) බෲනායි  (දරුසලාම්) රාජ්‍යයේ  තරග සංචාරයක් සදහා  දිවයිනෙන්  පිටත්ව යාමට සූදානම්ව සිටියේය.එහිදී  එරට ජාතික  පාපන්දු  කණ්ඩායම  සමග මෙම මස 8 හා 11 යන දිනවලදී  සුහද  ජාත්‍යන්තර  තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

මෙම තරග සංචාරයේදීත් නිත්‍ය  දැල් රකින්නා  වන සුජාන් පෙරේරා ශ්‍රී  ලංකා කණ්ඩායමේ  නායකත්වය  දරයි.ක්‍රීඩකයන්  24 දෙනකු හා පරිවාර  නිලධාරීන්  10 දෙනකුගෙන්  සමන්විත  සංචාරක  ශ්‍රී  ලංකා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර  තරග පිටියට පිවිසෙන්නේ  පසුගිය  මාර්තු  මාසයෙන්  පසුවය.

කොළඹදී මාර්තු 22 හා 25 යන දිනවලදී  පැවැති  2024 ජාත්‍යන්තර  සමුළු තරගාවලියේ තරග  දෙකකදී  පැපුවා  නිව්ගිණියාව සමග තරගය සම කරමින් (0 - 0) හා භූතානයට එරෙහිව  තරගය ජය ගනිමින් (2 -0) ශ්‍රී  ලංකාව දක්ෂතා දැක්විය.

මේ වන විට ශ්‍රී  ලංකාව ලෝක පාපන්දු  ( පිරිමි ) ශ්‍රේණිගත කිරීම්හි 204 වැනි ස්ථානයේද හා ප්‍රතිවාදී  බෲනායි රාජ්‍යය 194 වැනි ස්ථානයේද පසු වෙති.කෙසේවුවත්  අවසන්  වරට  බෲනායි  රාජ්‍යය මුණ ගැසුණු 2009 දී ගෝල 5 - 1 කින් ජය ගැනීමට ශ්‍රී  ලංකාව සමත්ව තිබේ.

බෲනායි  තරග සංචාරය පිළිබඳව  අදහස් දක්වන ශ්‍රී  ලංකා පාපන්දු  ආයතනයේ  සභාපති  ජස්වර් උමාර් මහතා සැප්තැම්බර්  මාසයේදී   පැවැත්වෙන  2027 ආසියානු කුසලාන සුදුසුකම් තීරණාත්මක වටයේ  තරග දෙකකට සූදානම්  වන ශ්‍රී  ල‍‍ංකාව ඒ සදහා  පෙරහුරුවක් ලෙස එය යොදා  ගන්නා බවත් පවසයි.

ඒ හැරෙන්නට  ජුනී  20 වැනිදා සිදු කෙරෙන  ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරිම් යළි යාවත්කාලීන කිරීමේදී බෲනායි තරග සංචාරය තුළින්  ශ්‍රී  ලංකාව ස්ථාන කීපයකින් ඉදිරියට පැමිණීමේ අපේක්ෂාවෙන්ද පසු වන බව ඔහු වැඩිදුරටත්  පැවැසීය.

2027 ආසියානු  කුසලාන  පාපන්දු  තරගාවලියට හදුන්වාදුන් නව තරග සැලැස්ම යටතේ පැවැත්වෙන  මෙම  තීරණාත්මක  තරග වටය යටතේ ශ්‍රී  ලංකාව සැප්තැම්බර් 5 වැනිදා  කොළඹදීත්  10 වැනිදා පොනොම් - පෙන් නුවරදීත් කාම්බෝජයට එරෙහිව  සුදුසුකම්  සපුරන තරග  දෙකකට සහභාගි වීමට නියමිතය.

පාපන්දු ආයතනය  සදහන් කරන්නේ ශ්‍රී  ලංකා ජාතික  පාපන්දු  සංචිතයට ඇතුළත් කර ගෙන සිටින ශ්‍රී  ලංකා සම්භවයකින්  යුත් ද්විත්ව පුරවැසියන් වන ක්‍රීඩකයන් අවම පිරිසක් පමණක් බෲනායි  සංචාරයට සහභාගි කර ගන්නා බවයි.

මෙම ක්‍රීඩකයන් පිරිස මේ වන ව්ට 12 ක් පමණ වේ.ඔවුන් වැඩි දෙනෙකු යුරෝපා  රටවල වෘත්තිය ලීග් පාපන්දු තරග ක්‍රීඩා කරන්නෝ වෙති.ඔවුන් සමහරුන්ට ශ්‍රී  ලංකාවේ පුරවැසිභාවය ලබාදීමටද මෙරට පාපන්දු ආයතනය මැදිහත්වීම් කර තිබේ.

ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා  ප්‍රධාන  පුහුණුකරු  ලෙසත්  එංගලන්ත ජාතික කීත් ස්ටීවන් මහතා සහාය පුහුණුකරු  ලෙසත්  ස්කොට්ලන්ත  ජාතික ජෝන් ටම්බුල් මහතා  දැල් රකින්නන්ගේ පුහුණුකරු  ලෙසත් බෲනායි සංචාරයට එක්ව සිටිති.

මේ වන විට ශ්‍රී ල‍‍ංකා පාපන්දු  කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 10 දෙනාගෙන් හත් දෙනකුම  විදේශිකයන් වන අතර ඉන් හය දෙනෙක්ම ස්කොට්ලන්ත ජාතිකයෝ වෙති.


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු පිල බෲනායි සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.