Last Update  :  2024-11-10 12:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව අන්තිමයාට ඉහළින්: කුසලාන උස්බෙකිස්තානයට

ශ්‍රී ලංකාව අන්තිමයාට ඉහළින්: කුසලාන උස්බෙකිස්තානයට

editorial - 2024 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

 කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී රටවල් හයකගේ සහභාගිත්වයෙන් නිමාවට පත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - බාලක) තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව පස් වැනි ස්ථානය ලැබීය.ඒ මලදිවයින සමග පැවැති පස් වැනි ස්ථානය තේරීමේ ශ්‍රේණිගත තරගය වට 3 - 0 කින් ජය ගනිමිණි.එහිදී ශ්‍රී ලංකාව ලකුණු 25 /12 - 25/20 - 25/20 ක් ලෙස එම ජයග්‍රාහණය වාර්තා කළේය.

මෙම තරගාවලිය පෙරේදා (12) නිමාවට පත් කරමින් පැවැති අවසන් මහ තරගයේදී වට 3 - 1 කින් නේපාලය පරාජය කළ උස්බෙකිස්තානය ශූරතා කුසලාන දිනා ගත්තේය. තරගාවලියේ අවසන් ප්‍රතිපලයට අනුව එම දෙරටම මධ්‍යම ආසියානු කලාපයෙන් එළඹෙන (2025) ආසියානු තරගාවලියට නිර්දේශ ලබා ගත්හ.ජයග්‍රාහි උස්බෙකිස්තානය අපරාජිතව තරගාවලිය ජය ගැනීම කැපී පෙණුනි.

තරගාවලියේ සත්කාරය දැරූ ශ්‍රී ලංකාව දෙවතාවකදීම මාලදිවයින පරාජය කිරීම හැරෙන්නට ඔවුන්ගෙන් වෙනත් කැපී පෙණෙන දක්ෂතා පළ නොවීය. මූලික වටයේදී පරාජයට පත්වූ තරග වලදී ශ්‍රී ලංකාව කිරිගිස්ථානය සමග වට දෙකක්ද තර්ක්මෙනිස්ථානය හා උස්බෙකිස්තානය සමග එක් වටයක් බැගින්ද ජය ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය ලකුණු 23/25 - 23/25 - 25/20 - 25/23 - 15/13 ක් ලෙස තර්ක්මෙනිස්ථානය විසින් ජය ගත්තේ මුල් වට දෙකම ජය ගෙන තිබූ කිරිගිස්ථානයේ ජය උදුරා ගනිමිණි.

ශූරතාලාභී උස්බෙකිස්තානය විසින් අවසන් මහ තරගයේදී නේපාලය පරාජය කළේ ලකුණු 27/25 - 25/10 - 25/16 - 25/20 ක් පරිදිය.

තරගාවලියේ සුවිශේෂී දක්ෂතා සම්මාන ප්‍රදානයේදී එම ශූරතා සම්මාන අටම විදේශීය ක්‍රීඩකයන් විසින් දිනා ගන්නා ලදී. එහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ජයග්‍රාහී උස්බෙකිස්තාන කණ්ඩායමේ හයිඩ්ඇරෝව් ඔගාබෙක් විසිනි.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහ ලේකම් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතාගේ මූලිකත්වයෙන් මෙම තරගාවලිය සංවිධානය විය. සත්කාරය ශ්‍රී ලංකාවට ඒ සදහා රුපියල් මිලියන 23 ක පමණ පිරිවැයැක් දැරීමට සිදුවූ බව ඒ.එස්. නාලක මහතා පවසයි.

ඡායාරූප - ශ්‍රී ලංකා - මාලදිවයින ශ්‍රේණිගත තරගයෙන්...


අදහස් (0)

ශ්‍රී ලංකාව අන්තිමයාට ඉහළින්: කුසලාන උස්බෙකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.