Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ පැවැත්වීමට ඔලිම්පික් කමිටු සහය සොයයි

නිලවරණ පැවැත්වීමට ඔලිම්පික් කමිටු සහය සොයයි

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමි ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීමේදී මින් ඉදිරියට ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණ ලබාගැනීමට සැලසුම් සකස් කරන බව, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කැඳවීමේදී ජාත්‍යන්තර වශයෙන් එල්ලවන රාජ්‍ය මැදිහත්වීම් චෝදනාව සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ අවධානය යොමු වී තිබේ. ඊට පිළියමක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සමාජික ක්‍රීඩා සංගමයක නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශය සෘජු මැදිහත්වීමක් කරන්නේ නම්, ඒ සඳහා ඔලිම්පික් කමිටුවේ නිරීක්ෂණ දායක කරගැනීමට ද
ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ හා ශ්‍රී ලංකා සුළං ඔරු සම්මේලනයේ නිලවරණ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණ අධීක්ෂණ නිලධාරියකුට ආරාධනා කිරීමට තීරණය වී තිබේ.

ජාතිත ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ රාජ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ලවන අපවාදයෙන් ගැලවීමට තිබෙන හොඳම අවස්ථාව ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා තමන් හවුල් කරගැනීම බවයි. ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගමයක් නම් ඒ සඳහා සිය සහයෝගය ලබාදිය හැකි බවත් ඔහු එහිදී පැවැසීය. එවැනි අවස්ථාවකදී  අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයට හෝ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යම් පැමිණිල්ලක් හෝ චෝදනාවක් එල්ලවන්නේ නම් එම ජාත්‍යන්තර පාර්ශ්ව වෙත සිය නිගමන ලබාදිය හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙසේ ද පැවැසීය.

“රාජ්‍ය මැදිහත්වීම් කියන චෝදනාව අප තරයේ ප්‍රතික්ෂේප කරනවා. බොහෝ වෙලාවට පරිපාලන ආරවුල් නිසා නිලවරණය දිගින් දිගටම කල් යන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ රටේ පවතින ක්‍රීඩා නීතියට අනුව පවත්වා අවසන් කරන්න අපට සිද්ධ වෙනවා.“

එහෙම අපේ අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් පසුගිය කාලයේ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ගණනාවක්ම සාර්ථකව පවත්වා අවසන් කරන්නට හැකි වුණා.
ප්‍රශ්නය තියෙන්නේ සමහර ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණවලට ඉදිරිපත් වෙලා පරාජය වන පාර්ශ්වයන් ඒක පිළිගන්න කැමැති නෑ. ක්‍රීඩා අමාත්‍යාංශය අතට අරන් ප්‍රශ්නය විසඳලා දෙනකොට ඒක පිළිගන්න බැරි සමහර පාර්ශ්ව පදනමක් නැති හේතු දාලා මේ ආකාරයට ජාත්‍යන්තර ක්‍රීඩා පාර්ශ්වවලට පැමිණිලි කරනවා. අපි හිතනවා ඔය කියන විදියට මේ ගැටලුවට යම් තරමකට හෝ මේක පිළියමක් වෙයි කියලා.”

ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් පවත්වා අවසන් කළ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හා ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනයේ නිලවරණයට එරෙහිව මේ වනවිට ඒවායෙහි අන්තර්ජාතික සම්මේලනවලට හා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාවේ කිසියම් පිරිසක් පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.

 


අදහස් (0)

නිලවරණ පැවැත්වීමට ඔලිම්පික් කමිටු සහය සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.