Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලදිවයින 3-1 කින් පැරදවූ ඉන්දියාව අවසන් තරගයට

මාලදිවයින 3-1 කින් පැරදවූ ඉන්දියාව අවසන් තරගයට

editorial - 2021 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

බදාදා පැවැති මූලික වටයේ අවසාන තරගයේදී සත්කාරක මාලදිවයින ගෝල 3-1 කින් පරාජයට පත් කළ ඉන්දියානුවෝ දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්හ.  ඒ අනුව තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ නේපාලය අතර සෙනසුරාදා (16) රාත්‍රි 9.00 ට ‘මාලේ’ නුවර ජාතික පාපන්දු පිටියේදී පැවැත්වේ. 

මේ දක්වා 13 වතාවක් පවත්වා ඇති තරගාවලියේදි ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලද 12 වැනි අවස්ථාව මෙයයි. එහෙත් නේපාලය තරගාවලියේ අවසන් මහ තරගයකට පිවිසි පළමු අවස්ථාවත් මෙය වීමද කැපී පෙනේ. 

මූලික වටයේ තරග නිමාවට පත් කරමින් පැවති තීරණාත්මක තරගයේදී ඉන්දියානුවන් වෙතින් පරාජයට පත්වූ මාලදිවයින පසුගිය තරගාවලියේ ශූරයන්ය. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමෙන් වුවද අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව ඔවුන් ලබා තිබූ බැවින්  තරගය නැරඹූ 10,000 කට අධික මාලදිවයින් ජාතිකයෝ පරාජයෙන් දැඩි කම්පාවට පත්වූහ.

මේ වනවිට දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් බවට පත්ව සිටින ඉන්දීය පිලේ නායක 37 හැවිරිදි සුනිල් චෙට්ත්‍රි මෙම තරගයේදීත් තීරණාත්මක වගකීම් කොටස ඉටු කරමින් 62 වැනි හා  71 වැනි විනාඩිවලදී ගෝල දෙකක්ම ලබාගත්තේය. 

තරගයේ පළමු භාගය ගෝල 1-1ක් ලෙස සමවී තිබිමෙන් එහි දෙවැනි භාගය උණුසුම් තත්ත්වයක් ඇති කළේය. මාලදිවයින් කණ්ඩායමේ ප්‍රබලතම ප්‍රහාරකයකු වන අලි අස්ෆාක් 45 වැනි විනාඩියේදී පිරිනැමුණු දඬුවම් පහරක් මගින් ඔවුන්ගේ එකම ගෝලය වාර්තා කළේය. ඒ අතර 33 වැනි විනාඩියේදී මනිටර් සිංග් ලබාගත් ගෝලයෙන් ඉන්දියාව සිය ජයග්‍රහණයේ විශ්වාසය කරා කලින්ම ළඟාවී තිබුණි.

මෙවරත් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් 50,000ක් හා අනුශූරයන්ට 25,000ක් ප්‍රදානය කෙරේ. තරගාවලිය සෙනසුරාදා (16) නිමාවට පත්වීමෙන් පසුව මීළඟට (2023) පැවැත්වෙන 14 වැනි ශූරතාවලියේ සත්කාරක රාජ්‍යය තීරණය කෙරෙන දකුණු ආසියනු පාපන්දු සම්මේලනයේ විධායක සභා හමුවක් ලබන (ඉරිදා) මාලේ නුවරදී පැවැත්වේ. එහිදී එම තරගාවලියේ සත්කාරය ලබා ගැනීමට ශ්‍රී ලංකාවද අපේක්ෂාවෙන් පසුවේ. 

2008 තරගාවලියේදී මාලදිවයින හා සම සත්කාරය දැරූ ශ්‍රී ලංකාව එයින් පසුව සත්කාරයට උනන්දුවී සිටින පළමු අවස්ථාවත් මෙයයි. 


අදහස් (0)

මාලදිවයින 3-1 කින් පැරදවූ ඉන්දියාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.