Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපති සිටියදී විනිසුරුවරයා නිලවරණයට යයි

සභාපති සිටියදී විනිසුරුවරයා නිලවරණයට යයි

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

(නාමල් පතිරගේ)

බෙල්ජියමේදී හෙට (24) පැවැත්වෙන අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ මහ සභා රැස්වීම හා නිලවරණයට සහභාගි වීම සඳහා අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ශීර්ෂ පාඨය සහිත ලිපියක් මගින් ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු  දක්වන එන්. කරුණාරත්න මහතා අද පැවැත්වෙන අන්තර් ජාතික පාපැදි සම්මේලනයේදී  තමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ පාපැදි සම්මේලනයේ සභාපතිවරයාව  බව  එමගින් දන්වා තිබේ.  ලිපිය නිකුත් කිරීමේ අත්සන තබා ඇත්තේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම්වරයා ලෙස පෙනී සිටින බව දක්වන නිහාල් කුලසේකර මහතායි.

බෙල්ජියමේදී පැවැත්වෙන අන්තර් ජාතික පාපැදි මහ සමුළුවට හා නිලවරණය සඳහා රටවල් 197 ක නියෝජිතයෝ සහභාගි වෙති. එහිදී ආසියානු පාපැදි සම්මේලනය නියෝජනය කරන රටවල් 44 ක් සඳහා ඡන්ද නවයක් හිමිව තිබේ. ඒ සඳහා ආසියාව  නියෝජනය කරමින් නියෝජිතයෝ නවයක් සහභාගි වෙති.

අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ නිලවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ  හිමිකම ලබා ගැනීම සඳහා ආසියානු සම්මේලනයෙන්  රටවල් 21ක නියෝජිතයෝ ඉදිරිපත් වූහ. එහිදී මනාපය විමසීමෙන් ඡන්ද විමසුම සඳහා ආසියාවේ නියෝජිතයන් නව දෙනා තේරීමේදී ශ්‍රී ලංකා නියෝජිත එන්. කරුණාරත්න මහතාට වැඩිම මනාපයක් හිමිව තිබේ.

අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ නිලවරණයේදී ආසියානු කලාපය වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සිංගප්පූරුව, තායිලන්තය, චීනය, දකුණු කොරියාව, ඉරානය, කසකස්තානය හා මලයාසියාවෙන් සෙසු නියෝජිතයෝ තේරී සිටිති.

දකුණු ආසියානු පාපැදි සම්මේලනයේ උපසභාපතිවරයෙකු ලෙසත් කටයුතු කරන එන්. කරුණාරත්න මහතා දකුණු ආසියාව නියෝජනය කරන එකම අන්තර් ජාතික පාපැදි විනිසුරුවරයායි. ඔහු මේ දක්වා අන්තර්ජාතික පාපැදි තරග 100කට ආසන්න ගණනක විනිසුරුවරයෙකු හා තාක්ෂණ නිලධාරියෙකු ලෙසත් කටයුතු  කර තිබේ.

අප්‍රේල් 6  වැනිදා පැවැති පාපැදි සම්මේලන නිලවරණයෙන් සභාපති ධුරයට පත්වූ එම්.එල්. ක්‍රිශාන්ත මහතා ප්‍රධාන පාපැදි සම්මේලනයේ විධායක සභාව ශ්‍රී ලංකාවේ නිල පාපැදි පරිපාලන ඒකකය ලෙස නිල වශයෙන් පිළිගැනෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පාපැදි පරිපාලනය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය අන්තර් ජාතික පාපැදි සම්මේලනයට ලියා දන්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් අවධාරණය කරමින් පැවසීය.

කෙසේ වුවත් ලබන වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් පැවැත්වෙන ටී-කප් අන්තර් ජාතික පාපැදි සවාරියේ දේශීය මෙහෙයුම් කටයුතු අන්තර් ජාතික පාපැදි සම්මේලනය විසින් වෙනුවෙන් පවරා ඇත්තේද එන්. කරුණාරත්න මහතාටය.

 

 


අදහස් (0)

සභාපති සිටියදී විනිසුරුවරයා නිලවරණයට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.