Last Update  :  2024-03-28 14:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සංචිතයට අලුතෙන් තෝරන්න ආරාධිත තරගාවලියක් ජූලි මාසයේදී

පාපන්දු සංචිතයට අලුතෙන් තෝරන්න ආරාධිත තරගාවලියක් ජූලි මාසයේදී

නාමල් පතිරගේ - 2020 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික  පාපන්දු සංචිතයේ අවසන් තේරීම් සඳහා අන්තර් සමාජ ආරාධිත පාපන්දු තරගාවලියක් ඉතා කෙටි කාලයක් තුළදී පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානම් වන බව එහි සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය. පාපන්දු නිවසේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ලබන ජූලි මාසය අවසන්වීමට පෙර එම තරගාවලිය පවත්වා නිමාකරන බවයි.

‘කොරෝනා’ වසංගත තත්ත්වය හමුවේ ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් පසුගිය මාර්තු 10 වැනිදා සිට අත්හිටුවීමට පාපන්දු සම්මේලනය පියවර ගත්තේය.  කෙසේ වුවත් සදුදා (අද) ආරම්භ වන පුහුණුවීම් සඳහා කැඳවූ ක්‍රීඩකයන්  හැරෙන්න ඉදිරියේදී ඒ සඳහා  දක්ෂතා හෙබි තවත් ක්‍රීඩකයන් සඳහා නව තරගාවලියෙන් ඉඩක් ලැබෙන බව පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පැවසීය.

ආරාධිත අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා ශූරයන්ගේ තරගාවලියේ  කණ්ඩායම් හා පසුගිය වසරේ වයස 19න් පහළ ශ්‍රී  ලංකා කණ්ඩායම සඳහා ඇරියුම් කෙරේ. 2018 වසරේ ශූරයන්ගේ තරගාවලිය අතරමගදී තහනමට ලක්වූ බේරුවල ‘සුපර්සන්’ ක්‍රීඩා සමාජයද මෙම තරගාවලිය සඳහා ඇරියුම් ලබා තිබේ. සුපර් සන් ක්‍රීඩා සමාජය සත්කාරය දැරූ තරගයකදී නරඹන්නන් පිටියට කඩා වැදී විනිසුරුට පහර දුන් බව කියන  සිදුවීමක් හේතුවෙන් සුපර් සන් ක්‍රීඩා සමාජය තහනමට ලක්විය.

ජාතික පාපන්දු සංචිතයේ පළමු තේරීම් සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් ගණන 57කි. බොස්නියානු පුහුණුකරු අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකා සේවය බාර ගැනීමෙන් පසුව ජාතික පාපන්දු කණ්ඩායම සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගය ලබන ඔක්තෝබර් 8 වැනිදා  උතුරු කොරියාවට එරෙහිව උතුරු කොරියාවේදී පැවැත්වීමට නියමිතය.  එය වසර 2022 කටාර්හිදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරාගවලියේ  ආසියානු කලාප සුදුසුකම් තේරීමේ දෙවැනි වටයේ තරගයකි.

දකුණු කොරියාවට හා ලෙබනනයට එරෙහිව තරග වදින එම වටයේ තවත් තරග දෙකක්ද ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත.  ඔක්තෝබර් 13 වැනිදා හා නොවැම්බර් 12 වැනිදා එම ඉතිරි තරග දෙක යෙදී තිබේ. එසේ වුවත් ජාතික පුහුණුකරු අමීර් ඇලජික්  මහතාට ලබාදෙන පළමු ඉලක්කය වන්නේ වසර 2021දී පැවැත්වෙන දකුණු ආසියානු (සාෆ්) පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට කැඳවා ගෙන ඒමයි.

ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම්  කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේදී අද (22 වැනිදා) ආරම්භ වේ. සෞඛ්‍ය නව නියාමනයන්ට යටත්ව දුරස්ථභාවය රැකෙන  පරිදි ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් යළි ආරම්භ කිරීමට  කටයුතු යොදා තිබේ.

පළමු අදියරේදී පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් ගණන   18කට සීමා කර තිබේ. නවක ක්‍රීඩකයන් හය දෙනෙකු ඊට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.  කොළඹ ක්‍රීඩා සමාජයේ අෆිල් මොහොමඩ් හා ජාවාලේන් ක්‍රීඩා සමාජයේ රිස්තාන් ෆයිසර් ජාතික සංචිතයට එක්වන්නේ වසර කීපයකට පසුවය. .

මේ වනවිට ශ්‍රී  ලංකා ජාතික පාපන්දු සංචිතයේ ගෝල රකින්නන්ගේ පුහුණුකරු  ලෙස සේවය කරන්නේද බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරුවෙකි. ඔහු අමීර් ඩොක්සකල්මික් මහතාය.


ජාතික පාපන්දු සංචිතය :
ප්‍රභාත් රුවන් අරුණසිරි (බ්ලුඊගල්ස්), මහේන්ද්‍ර දිනේෂ් (පොලිසිය), චලන චමීර (සෝන්ඩර්ස්), සිවකුමරන් රූබන් දාස් (රිනවුන්), තිරාන් කනිෂ්ක (කොළඹ), ඩුක්ෂන් පස්ලස් (වෙන්නප්පුව නිව් යංග්ස්), ජූඩ් සුපුන් (රිනවුන්), චරිත රත්නායක (කොළඹ) අයිකූර් රහුමාන් (යුද හමුදා), අෆීල් මොහොමඩ් (කොළඹ), මොහොමඩ් ෆසල් (කොළඹ), මොහොමඩ් ෂබීර් රහුමියා (කොළඹ), රිස්තාන් ෆයිසර් (ජාවා ලේන්) සජිත් කුමාර (යුදහමුදා), අබ්දුල් බයික් (කොළඹ), කවිදු ඉෂාන් (බ්ලුඊගල්ස්), රිෆ්තාන්  මොහොමඩ් (පොලිස්) සහ  දිලිප්  සුරාජ් පිරිස් (රිනවුන්).


නිලධාරීහු
ප්‍රධාන පුහුණුකරු :- අමීර් ඇලජික්,
ගෝල් රකින්නන්ගේ පුහුණුකරු:- අමීර් ඩොක්සනල්ටික්,
සහය පුහුණුකරු- මහින්ද ගලගෙදර.
කළමනාකරු :- අසීෆ් අන්සර්
විෂ්ලේෂක:- ෂෙහාන් සිල්වේරා,
ශාරීරික අභ්‍යාසක:- කාවින්ද රන්සීලු ජයතිලක
සම්භාහක - අබ්දුල් බසික්
සහයකයෝ -  මොහොමඩ් ෆාහිම් සහ රොෂාන් ප්‍රදීප්


අදහස් (0)

පාපන්දු සංචිතයට අලුතෙන් තෝරන්න ආරාධිත තරගාවලියක් ජූලි මාසයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.