Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ආයතනයේ සේවක වැඩි පිරිසකට පිං පඩි

පාපන්දු ආයතනයේ සේවක වැඩි පිරිසකට පිං පඩි

editorial - 2023 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාස පහක් වන නිල කාලයකට (2022-23) සීමාවී තිබෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව මේ වනවිට මාසයකට වැඩි කාලයක් ගෙවමින් තිබුණත් මෙතෙක් කිසිදු ක්‍රියාකාරී වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු නොකිරීම ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමුවී තිබේ.

අඩුතරමින් අනු කමිටු පත් කිරීමටවත් මෙතෙක් පියවර ගෙන නැති අතර ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව අවස්ථා කීපයකදී  රැස්වීමට පියවර ගෙන තිබුණත් ලීග් නියෝජිතයන් නියෝජනය කරන කවුන්සිල් රැස්වීම කැඳවීමටද මෙතෙක් අපොහොසත්ව තිබේ.

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පාපන්දු ආයතනයේ සභාපති ධුරයට තේරී පත්වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාය. එහිදී ජේ. ශ්‍රී රංගා මහතාගේ නිලවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වූ ප්‍රමුඛයන් වූයේ පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරුන් වන  අනුර ද සිල්වා, රංජිත් රුද්‍රිගු, එහි හිටපු ලේකම්වරයකු වන සුනිල් සෙනවීර, හිටපු සභාපති අපේක්ෂකයෙකු වන විකලාංග වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක්ය.

කෙසේ වුවත් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ඉකුත් ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර පාපන්දු තහනමත් සමග ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ කටයුතු පවත්වා ගෙන යාමේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදහත් පාර්ශ්ව වන පාපන්දු ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය වෙත කරුණු පැහැදිලි කිරීමේ ලිපි කීපයක්ම යොමුකර අැතත් ඒවාට ඔවුන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

ඔවුන්් ශ්‍රී ලංකාවට තහනමෙන් මිදීම සඳහා මූලිකව ගත යුතු කොන්දේසි හා ක්‍රියාමාර්ග ඉතා පැහැදිලිව දක්වා තිබෙන බැවින් එය සම්පූර්ණ කර අවසන් කිරීම හැරෙන්නට තවදුරටත් ශ්‍රී ලංකාවට ප්‍රතිචාර නොදැක්වීමට තීරණය කර ඇතැයිද එහිදී වාර්තාවේ.

ජාත්‍යන්තර තරග සහභාගිත්වය අත්හිටුවීමට සිදුවීම අන්තර් ජාතික පාපන්දු හා ආසියානු සම්මේලනවලින් ශ්‍රී ලංකාවට මුදා හැරෙන වාර්ෂික ප්‍රතිපාදන නොලැබීයාම හා ශ්‍රී ලංකාවේ සියලු ආකාරයේ පාපන්දු පාර්ශ්වකරුවන්ට ජාත්‍යන්තර තහනමෙන් පීඩාවට පත්වීම මෙම ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් ශ්‍රී ලංකාවට බලපාන මූලිකම කරුණු වේ.

ජනවාරි 14 වැනිදා පත්වූ ශ්‍රී ලංකා පාපන්දු විධායක සභාව ප්‍රතික්ෂේප කරන ජාත්‍යන්තර සම්මේලන සිය ව්‍යවස්ථාවට සමගාමීව යන නව පාපන්දු ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාව සකස් කර ගැනීමෙන් පසුව නැවත විධිමත්ව නිලවරණයක් කැඳවීමට ක්‍රියාකිරීමෙන් මෙම අවුල ළිහාගත හැකි බව ජාත්‍යන්තර සම්මේලනය ශ්‍රී ලංකාවට දැඩිව අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා පවසන අන්දමට එහි ගිණුම් ගතව මේ වන විට රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් පවතී.

පාපන්දු ආයතනයේ  අසූවකට වැඩි සේවක සේවිකාවන් හා නිලධාරීන් සංඛ්‍යාවකට එහිදී මාසිකව වැටුප් ගෙවීමත් සිදුකළ යුතුව ඇත. කෙසේ වුවත් පවතින තත්ත්වය යටතේ පාපන්දු ආයතනයේ සේවකයන් බහුතරයක් නිශ්චිත රාජකාරි කටයුත්තක් නොමැතිව වැටුප් ලබන බවද වාර්තාවේ.


අදහස් (0)

පාපන්දු ආයතනයේ සේවක වැඩි පිරිසකට පිං පඩි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.