Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළාත් පාපන්දු තරග හෙට සිට

පළාත් පාපන්දු තරග හෙට සිට

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පළමු වතාවට හඳුන්වා දෙන අන්තර් පළාත් නිදහස් කුසලාන පාපන්දු ලීග් තරගාවලිය හෙට (25) පස්වරු 3.30ට කුරුණෑගල මාලිගාපිටියේදී පැවැත්වෙන නැගෙනහිර කණ්ඩායම හා මධ්‍යම කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වේ.

රුපියල් කෝටි හයකට ආසන්න පිරිවැයක් දැරෙන මෙම තරගාවලියේ හෙට  මාලිගාපිටියේදී රාත්‍රී 8ට පැවැත්වෙන රජරට හා ඌව අතර තරගය නිල සමාරම්භක තරගය ලෙස සැලකේ. මෙම තරගය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

උතුරුමැද හා වයඹ යන දෙපළාත මෙම තරගාවලියේදී එකම (ඒකාබද්ධ) කණ්ඩායමක් ලෙස රජරට නමින් තරග වදියි.

ලබන පෙබරවාරි 28 වැනිදා නම් කෙරෙන ක්‍රීඩාංගනයකදී පස්වරු 6ට මෙහි අවසන් මහ තරගය පැවැත්වීම දක්වා තරගාවලියට මුළු තරග 33ක් ඇතුළත් වේ. පෙබරවාරි 19 වැනිදා අවසන් කෙරෙන මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් සිවු දෙනා අතර තරග හතරකින් සමන්විත පිළිමලුන් පිටුදැකීමේ තරග වටයෙන් අවසන් මහ තරගයට දෙපිල නිර්දේශ කෙරේ.
මෙම අන්තර් පළාත් තරගාවලියේ විශේෂත්වය වන්නේ, ජයග්‍රාහී කණ්ඩායම හා අනුශූරතාලාභී කණ්ඩායම සඳහා ප්‍රදානය කෙරෙන මුදල් ත්‍යාග එහි ක්‍රීඩකයන් අතර බෙදා දීමයි. එහිදී ශූරතාලාභී කණ්ඩායමේ සංචිතයේ ක්‍රීඩකයන් 30 දෙනා සඳහා රුපියල් 50,000ක් බැගින් ද අනුශූරතාලාභී කණ්ඩායමේ ක්‍රීඩකයන් 30 දෙනා සඳහා රුපියල් 25,000ක් බැගින් ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ජාතික පාපන්දු කණ්ඩායමේ හා ජාතික යොවුන් පාපන්දු කණ්ඩායම්හි නම ගිය ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී පළාත් කණ්ඩායම් නියෝජනය කරති. කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක සුජාන් පෙරේරා ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරයි.

ඒ අතර, මෙරට නම ගිය ජාතික මට්ටමේ පාපන්දු පුහුණුකරුවන් කිහිප දෙනකුම පළාත් කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස මෙම තරගාවලියේදී කටයුතු කරති. හිටපු ජාතික පාපන්දු පුහුණුකරු රූමි ෆකීර් අලි මහතා නැගෙනහිර පළාත් කණ්ඩායම් පුහුණුකරු ලෙසත්, කොළඹ ක්‍රීඩා සමාජ පිලේ වත්මන් පුහුණුකරු මොහොමඩ් රූමි මහතා මධ්‍යම පුහුණුකරු ලෙසත්, ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම්හි පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති සුමිත් වල්පොල මහතා බස්නාහිර පුහුණුකරු ලෙසත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු වන ඒ. දේවසායගම් මහතා රජරට පුහුණුකරු ලෙසත් එසේ කටයුතු කරන පුහුණුකරුවන් අතර කිහිප දෙනෙකි.

තරගාවලියේ තවත් තරග දෙකක් අනිද්දා (26) පස්වරු 3.30ට හා රාත්‍රී 7.30ට නැගෙනහිර හා සබරගමුව අතරත්, දකුණ හා බස්නාහිර අතරත් මාලිගාපිටියේදී පැවැත්වේ.

 


අදහස් (0)

පළාත් පාපන්දු තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.