Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඉන්දියාවට

දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඉන්දියාවට

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පළමු භාගය නිලකුණු තත්ත්වයක් මැද අවසන්ව තිබියදී දෙවැනි භාගයේදී ගෝල තුනක්ම රැස් කළ ඉන්දියාව ‘මාලේ’ නුවරදී සෙනසුරාදා (16) රාත්‍රියේ නිමාවට පත්වූ  13 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත්තේ නේපාලය පරදවා  ගෝල 3-0ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

ඉන්දියාව මෙවර තරගාවලියේ ඩොලර් 50,000ක් සමග ශූරතාව දිනා ගැනීමත් සමග අට වතාවක්ම සාෆ් ශූරතා පාපන්දු කුසලාන දිනා ගැනීමට සමත්ව සිටියි. ඒ තරගාවලි 12 කදීම අවසන් මහ තරගයට සුදුසුකම් ගැනීමටත් සමත්වීමෙනි.

අවසන් මහ තරගයේදී ඉන්දියාවට පරාජය වූ නේපාලය මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවත් මෙයයි. මීට පෙර තරගාවලියේ ඔවුන්ගේ හොඳම දක්ෂතාවය තෙවැනි ස්ථානයක් ලැබීමයි.

මෙවර තරගාවලිය පුරාම කැපී පෙණුනු ඉන්දීය කණ්ඩායම් නායක සුනිල් චෙට්ත්‍රි සෙනසුරාදා තරගයේදීත් ක්‍රියාත්මක වෙමින් 49 වැනි විනාඩියේදී ඉන්දීය කණ්ඩායමට පළමු ගෝලය ලබා දෙමින් ජයග්‍රහනයේ දොරටු විවර  කර දුන්නේය. අනතුරුව තවත් විනාඩියක් ඇතුළතදී (50වැනි විනාඩියේදී) සුරේෂ්  සින්ග් විසින් දෙවැනි ගෝලය ඉන්දීය කණ්ඩායමට ලබා  දුන්නේය.

ඉන්දීය කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පැහැදිලි ජයක් ලබා තරගයේ අවසානයට පැමිණ තිබියදී විනාඩි 90 න් පසුව ලබාදුන් අතිරේක කාලයේදීත් (91 වැනි විනාඩියේදී) තවත් ගෝලයක්  වාර්තා කිරීමට ඉන්දියානුවෝ මෙම අවසන් මහ තරගයේදී සමත් වූහ. ඒ අනුව මෙවර තරගාවලිය අපරාජිතව ජය ගැනීමට  සුනිල් චෙට්ත්‍රි ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත්විය.

දකුණු ආසියාව පුරාම නම රැන්දූ ජ්‍යෙෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු වන 37 හැවිරිදි චෙට්ත්‍රි මෙවර සාෆ් තරගාවලිය නිමාවන විට රැස් කර තිබූ ජාත්‍යන්තර  තරග ගෝල ගණන 80 කි. එය දෙවැනි වන්නේ පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පමණි. ඔහු මේ වනවිට ජාත්‍යන්තර තරග ගෝල  115 ක් රැස්කර  තිබේ.

ඉන්දියාව පසුගිය තරගාවලියේ (2018) අනුශූරයන් වන අතර එවර ශූරතාව දිනා ගත් මාලදිවයින ගෝල 3-1කට  මූලික වටයේ තරගයේදී පරාජයට පත් කරමින් ඉන්දියාව මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. තරගාවලියේ එකම  ප්‍රසාද ලකුණකට පමණක් හිමිකම් කී ශ්‍රී ලංකාව එය හිමිකර ගත්තේ මෙම ඉන්දීය කණ්ඩායම සමග තරගය නිලකුණු තත්වයක් මැද ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.