Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැරම් නිලවරණය අවුල් ජාලයක් වෙයි

කැරම් නිලවරණය අවුල් ජාලයක් වෙයි

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------
ශානුක අරවින්ද
-------------------

වසර තුනක් සාමාජිකත්වය අලුත් කර නොමැති ක්‍රීඩා සමාජ 23 ක් සහ කිසි දිනෙක කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබා නොමැති ක්‍රීඩා සමාජ 2 ක් නීති විරෝධී ලෙස ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කර ඇති බවට චෝදනා එල්ල වීම හේතුවෙන් කැරම් සම්මේලනයේ නිලවරණය යළිත් වරක් අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම වසරේ (2021) පෙබරවාරි මාසය දක්වා කැරම් සම්මේලනයේ සිටි විධායක කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු 14 කින් සමන්විත විරෝධතා ලිපියක් යවා තිබේ.

කැරම් නිලවරණය දිනෙන් දින ප්‍රමාදවීම හේතුවෙන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනිණ. ඉන් අනතුරුව අමාත්‍යාංශය විසින් පත්කරන ලද නිලවරණ කමිටුව නැවතත් කැරම් සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා කැඳවූ අතර ඊට කැරම් සම්මේලනයේ හිටපු නිලධාරීන් සහ ක්‍රීඩා සමාජ කිහිපයක් විරෝධතා ගොනුකර තිබේ.

නිලවරණ කමිටුව, ක්‍රීඩා පනතේ සහ කැරම් ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති උල්ලංඝණය කරමින් වසර තුනක් සාමාජිකත්වය අලුත් කර නොමැති ක්‍රීඩා සමාජ 23 ක් සහ කිසි දිනෙක කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති ක්‍රීඩා සමාජ 2 ක්ද නීති විරෝධී ලෙස ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් කර ඇති බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවයි.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය පැවතියද, ඉකුත් මාර්තු මස 2 වැනිදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ කැඳවීම මත ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති රැස්වීමට සහභාගී වීමට නොහැකිවීම හේතුවෙන් ජාතික කැරම් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් නියෝජනය කරනු ලබන නාවික හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ විශ්ව විද්‍යාලීය ක්‍රීඩා සමාජ සහ තවත් ක්‍රීඩා සමාජ කීපයක් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම යුක්ති සහගත නොවන බවද විරෝධතා කරුවෝ පවසති.

මීට අමතරව නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීමේදී ප්‍රධාන නිලධාරී තනතුරු හතට අමතරව කාරක සභාව වෙනුවෙන් ක්‍රීඩා සමාජ දහයක් සඳහා නාම යෝජනා කැඳවිය යුතු වුවත්, ඒ සඳහා මෙන්ම කැරම් සම්මේලනය තුළ සුවිශේෂී මෙහෙවරක් කරනු ලබන ‘තරග ලේකම්’ තනතුර සඳහාද නාම යෝජනා කැඳවා නොමැති බවද වාර්තා වේ.

මැයි මස 25 වැනිදා නිලවරණය පැවැත්වෙන බව සඳහන් කර ඇති අතර කිසියම් හේතුවක් නිසා යම් අයෙකුට එදින ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් ඊට පසු දින පෙ.ව. 9.00 ට පෙර අදාළ ක්‍රීඩා සමාජයේ ලේකම් හා සභාපති යන දෙදෙනාගේ අත්සන් සහිත ලිපියක් ඉදිරිපත් කිරීමෙන් වෙනත් පුද්ගලයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැකි බව නිලවරණ කමිටුව එවා ඇති ලිපියේ සඳහන් වීමද ගැටලු සහගත බව කැරම් සම්මේලන ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත් ලෝක කැරම් සම්මේලනයේ උප සභාපති, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ හිටපු සභාපති පරාක්‍රම බස්නායක මහතාද ඉහත කරුණු සම්බන්ධයෙන් ලිඛිත විරෝධතාවක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. මෙම නීති විරෝධී ක්‍රියාවලිය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත නොහැකි වුවහොත් ඊට එරෙහිව අධිකරණය දක්වා යන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට කැරම් සම්මේලනයේ හිටපු නිලධාරීන් සූදානමින් පසුවන බවද කැරම් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 


අදහස් (0)

කැරම් නිලවරණය අවුල් ජාලයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.