Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා නිලවරණ 3 ක් යොදාගත් දිනවලදීම

ක්‍රීඩා නිලවරණ 3 ක් යොදාගත් දිනවලදීම

editorial - 2021 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඍජු මැදිහත්වීමෙන් සූදානම් කර තිබෙන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ තුනක් කල් දැමීමකින් තොරව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසෙයි.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය (2021-23) ලබන සඳුදා (10), ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය ලබන බදාදා ද (12) හා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණය මෙම 25 වැනිදා ද යොදාගත් පරිදි පැවැත්වීමට ගෙන තිබෙන තීරණයේ මෙතෙක් වෙනසක් නැතැයි ලංකාදීපය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.

සඳුදා පැවැත්වෙන බව ප්‍රකාශ වන හොකී සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරයට එහි හිටපු සභාපතිවරයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.කේ. පුෂ්පකුමාර යන මහත්වරු නාමයෝජනා බාරදී සිටිති.

ලයනල් කුමාර හා රේණුක සමන්තිලක යන මහත්වරුන් කායවර්ධන සම්මේලනයේ සභාපති ධුරයට නාමයෝජනා බාරදී තිබේ. කෙසේ වුවත් ඒ සඳහා නාමයෝජනා බාර දුන් නිහාල් වීරතුංග මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ කායවර්ධන සම්මේලනයේ ගෙවුණු නිල කාලයේදී සිදුවී ඇතැයි කියන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේදී ඔහුත් වගඋත්තරකරුවකු ලෙස චෝදනා ලැබීම නිසාය.

කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන නිහාල් වීරතුංග මහතා විමර්ශන හමුවේ පෙනී සිටියේය. මේ සම්බන්ධයෙන් ඔහුගේ නිල කාලයේ සම්මේලනයේ සභාපතිවරයා වන කිත්සිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් අවභාවිතා කරන ලදැයි චෝදනා ලබා සිටියි. ඒ පිළිබඳව ඔවුන්ගෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ද කටඋත්තර ලබා ගත්තේ එම ඒකකය ද වෙනම විමර්ශන ආරම්භ කර තිබෙන බැවිනි.

කායවර්ධන සම්මේලන නිලවරණයේදී ඡන්දය හිමි වී ඇත්තේ දිස්ත්‍රික් සංගම් අටකට පමණකි.

මේ අතර ශ්‍රී  ලංකා කැරම් සම්මේලනයේ නිලවරණය (2021-23) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ පැවැත්වෙන අතර, ද්වන්ධ සටනක් හෝ තුන්කොන් සටනක් බවට පත්විය හැකිය.

හිටපු සභාපති පරාක්‍රම බස්නායක, හිටපු උපසභාපතිවරයකු වන ප්‍රසන්න ප්‍රනාන්දු හා ජනසතු සේවා කැරම් සංගමයේ සභාපති ආර්.ඒ.එස්.එම්. රණසිංහ යන මහත්වරුන් කැරම් සම්මේලනයේ සභාපති ධුරයට නාමයෝජනා බාර දී සිටිති. එහෙත් හිටපු සභාපති පරාක්‍රම බස්නායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

කෙසේ වුවත් එම චෝදනාවට අදාළ විමර්ශනවලින් තමා නිදොස් වී ඇතැයි ප්‍රකාශ කරන ඔහු, මැයි 25 වැනිදා පැවැත්වෙන නිලවරණයට තමාට ඉදිරිපත්වීමේ අවස්ථාව
නොලැබෙන්නේ නම් අධිකරණය හමුවට යන බව ප්‍රකාශ කර තිබේ.

කැරම් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු මැයි 25 වැනිදා පැවැත්වෙන කැරම් සම්මේලනයේ නිලවරණය වළක්වාලමින් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බවයි.

ක්‍රීඩා සමාජ 51 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර කැරම් සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා රැසකට විරෝධතා ඉදිරිපත් වුවත් ඒවා මෙතෙක් විභාග කර නැත.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසන්නේ, පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම නිලවරණ දැඩි නිරෝධායන නීති රීති යටතේ විශේෂ තීන්දු ගනිමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

 

 


අදහස් (0)

ක්‍රීඩා නිලවරණ 3 ක් යොදාගත් දිනවලදීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.