Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ සම්මේලනයේ මුල් පුටුවට තරග කරන්න අර්ජුන එකඟවෙයි

එල්ලේ සම්මේලනයේ මුල් පුටුවට තරග කරන්න අර්ජුන එකඟවෙයි

නාමල් පතිරගේ - 2020 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

එල්ලේ ප්‍රවීණයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ධුරයට ඉදිරිපත්වීම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා එකඟ වූ බව වාර්තාවේ.

කඩවතදී පැවැති එම සාකච්ඡාවට සහභාගී වූ අර්ජුන රණතුංග මහතා එහි පැමිණි සිටි එල්ලේ ප්‍රවීනයන්ට යෝජනා කර ඇත්තේ තමන් පත්වීමෙන් පසුව සිය නිල කාලය තුළදී ඉටුකර අවසන් කිරීම සඳහා ප්‍රායෝගික වන එල්ලේ ක්‍රීඩා සංවර්ධනය යෝජනාවලියක් සකස් කරන ලෙසයි.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු වන සිරිපාල රණසිංහ, එහි ජාතික සංවිධායකවරයකු වන චාමර සේරසිංහ යන මහත්වරු ඇතුළු එල්ලේ විනිසුරුවන්, ක්‍රීඩා සමාජ නියෝජිතයන් පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබාගත් දැනුම, පළපුරුද්ද මෙරට එල්ලේ ක්‍රීඩාව හා එහි පරිපාලනය නගා සිටුවීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව පවසා ඇති රණතුංග මහතා එල්ලේ ක්‍රීඩාව ප්‍රචලිතව පවතින දිස්ත්‍රික්ක හයක් තෝරා ගනිමින් අන්තර් දිස්ත්‍රික් තරග මාලාවක් පැවැත්වීමටද යෝජනා කර තිබේ. ඒ අතර එල්ලේ සම්මේලනය සඳහා ස්ථීර වාසස්ථානයක් ලබාදෙන බවටත් ඔහු සාකච්ඡාවේදී ප්‍රතිඥා දී තිබේ.

මෙම සාකච්ඡාවෙන් පැනනැගුණු කරුණු සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය.

“මට ඡන්ද හොඳට පුරුදුයි. එල්ලේ සම්මේලනයේ සභාපති ධුරයට තරගයක් ආවොත් ඊට කැමැත්තෙන් මුහුණ දෙන්නත් සූදානම්. එල්ලේ ක්‍රීඩකයෙක් ලෙස මා තරගවලටත් සහභාගී වෙලා තිබෙනවා. ඒ නිසා සුදුසුකම් පිළිබඳව මට ප්‍රශ්නයක් පැන නගින්නෙත් නෑ.

මගේ ක්‍රිකට් දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න මේ රටේ මෙතෙක් පත්වුණු කිසිදු ක්‍රිකට් පරිපාලනයක් උනන්දු වුණේ නෑ. මේ වගේ ප්‍රශ්න මැද යළි ක්‍රිකට් පරිපාලනය දිහා බලන්නවත් මම සූදානම් නෑ. ඒ නිසා එල්ලේ වගේ මේ රටේ දුප්පතුන් වැඩි පිරිසක් නියෝජනය කරන ක්‍රීඩාවකට සේවය කරන්න මට අවස්ථාවක් ලැබුණොත් මම ඒ ගැන ලෝක කුසලාන දිනාගත්තා වගේම සතුටු වෙනවා.”

එල්ලේ සම්මේලනයේ නිලවරණය අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ. ඒ සඳහා මෙවරත් සභාපති ධුරයට නාමයෝජනා බාරදෙන බව වත්මන් සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අර්ජුන රණතුංග මහතාගේ ඉදිරිපත්වීම ප්‍රකාශවීමත් සමඟ මෙවර එල්ලේ සම්මේලනයේ නිලවරණය ද්විපාර්ශ්වික සටනක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ.


අදහස් (2)

එල්ලේ සම්මේලනයේ මුල් පුටුවට තරග කරන්න අර්ජුන එකඟවෙයි
  • මෝ Saturday, 27 June 2020 10:51 AM

    අන්න හරි මැතිතුමෝ... ඔන්න ඔය දේශපාලන මඩ ගොහොරුවෙන් එළියට ඇවිත් එල්ලෙ පාරක් ගහගෙන ගමේ කොල්ලන්ට සපෝට් එකක් දීගෙන ශේප් එකේ ඉන්න. දැං උසාවි ගානේ රස්තියාදු වෙන්නත් කාලය එපැයි...

    Reply 0       0

    විජේ Monday, 29 June 2020 02:40 PM

    ක්‍රිකට් නං ක්‍රිකට්, එල්ලෙනං එල්ලෙ. කැප්ටන් නං කූල්.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.