Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙපැක්ටාක්රෝ තේරීම් පක්ෂග්‍රාහීයි

සෙපැක්ටාක්රෝ තේරීම් පක්ෂග්‍රාහීයි

editorial - 2022 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී ආරම්භ වූ දකුණු ආසියානු සෙපැක්ටාක්රෝ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමේදී සම්මේලනයේ හා තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරීන් පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති තමාගේ අවස්ථාව නැතිවී ගිය බවට ක්‍රීඩිකා ඉනෝකා ප්‍රියදර්ශනී පෙරේරා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අභියාචනා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ඇය ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කර ගැනීමේදී ශ්‍රී ලංකා ආධුනික සෙපක්-ටැක්රෝ සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරියකුගේ බලපෑම් ඉහළින්ම තේරීම් කමිටුවට එල්ලවීමේ ප්‍රතිඵලයක් ලෙස තමන්ගේ අවස්ථාව නැතිවී ගිය බවත්, ඒ වෙනුවට නිලධාරීන්ට හිතවත් ක්‍රීඩිකාවන් දෙදෙනකුට සුදුසුකම් ක්‍රියාපටිපාටියෙන් බැහැරව කණ්ඩායමේ අවස්ථාව සලසා දුන් බවත් එම අභියාචනයෙන් මෙම ක්‍රීඩිකාව චෝදනා නගා ඇත.

දකුණු ආසියානු සෙපැක්ටාක්රෝ තරගාවලිය ඊයේ (27) ඩකා නුවරදී ආරම්භ විය. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් , පුහුණුකරුවන් හා නිලධාරීහු පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීවී සිටිති. තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා (29) දක්වා එහිදී පැවැත්වේ.

තේරීම් කමිටුවට හා සම්මේලනයට චෝදනා කරන ඉනෝකා ප්‍රියදර්ශනී පෙරේරා තායිලන්තයේ පැවැති 35 වැනි ‘‘කින්ස්’’ කුසලාන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවකි. මේ සම්බන්ධයෙන් කරුණු රැසක් සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ අභියාචනය විභාගයට ගන්නා බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දී තිබේ.

ඇය චෝදනා කරන්නේ දකුණු ආසියානු තරගාවලියට නිර්දේශ කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා ජාතික තරගාවලියකට සහභාගී නොවූවන් බවයි. ජාතික තරගාවලියේදී ඇතැම් නිලධාරීන්ගෙන් සිදුව ඇතැයි කියන අකටයුතුකම් රැසක් සම්බන්ධයෙන් වෙනම පැමිණිල්ලක් ඇය ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කර තිබේ.

ඒ අතර ජාතික තරගාවලියේ වූ බව කියන ඇතැම් සිදුවීම්වලට ඇතුළත් වීඩියෝ පට හා ඡායාරූප ද ඇය ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවට බාර දී තිබේ.

 -223


අදහස් (0)

සෙපැක්ටාක්රෝ තේරීම් පක්ෂග්‍රාහීයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.