Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තීරණාත්මක සාධකය ශක්තිමත් ඉනිම දෙකක්
නවසීලන්ත සංචාරය

තීරණාත්මක සාධකය ශක්තිමත් ඉනිම දෙකක්

editorial - 2023 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න (මැද), පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් (දකුණේ) සහ තේරීම් කමිටු සාමාජික රොමේෂ් කළුවිතාරණ පුහුණුවීම් අතරතුර සාකච්ඡාවක
(ඡායාරූපය - ඒ.එෆ්.පී.)

 

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට ගියේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු හිස රඳවාගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව ඇතත් ඒ වෙනුවෙන් ඉතිහාසය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙයි. එනම් වසර 40 ක් ඈතට දිවයන ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ, 2-0 ක තරගාවලි ජයග්‍රහණයක් නවසීලන්තයේදී ලබාගැනීමයි.

1983 සිට මේ දක්වා නවසීලන්තයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව 9 ක් වුවද ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 1995 දී පමණි. එයද 1-0 ක තරගාවලි ජයග්‍රහණයකි. 2-0 ක තරගාවලි ජයකින් මෙපිට, ලෝක ශූරතාවලියේ අවසන් තරගයට යා නොහැකිය.

නවසීලන්තයේදී 2-0 ක තරගාවලි ජයක් සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් ඉනිම දෙකකි. නැතිනම් තුනකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් සංයුතිය අනුව, තරුණ මෙන්ම ජවසම්පන්න ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට එය කළ නොහැකි දෙයක් ද නොවේ. වසර 2019 දී දකුණු අප්‍රිකානු සංචාරයේදී ඔවුන් කළේ එවැන්නකි.

“අපි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ (ටෙස්ට් ලෝක ශූරතාවලියේ) අවසාන මහ තරගයට යන්න. ඒත් අනෙක් තරගාවලි වල සිද්ධ වෙන දේ අපට පාලනය කරන්න බෑ...”

“අපට පාලනය කරන්න පුළුවන් අපි ඉදිරියේ තියෙන තරගය විතරයි. ඒ නිසා තරග දෙකක් දිනන්න ඉස්සරවෙලා, අපිට ලැබෙන පළමු වැනි තරගය අපි දිනාගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි මොනවාද කරන්න ඕනේ කියලා තමයි අපි කතාබහ කරන්නේ...” යයි නායක දිමුත් කරුණාරත්න ඊයේ (7 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය.

දිමුත් “අනෙක් කණ්ඩායම්” යයි හැඳින්වූයේ ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව ගැනයි.

මේ වන විට ඕස්ටේ්‍රලියානුවන් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇතත්, හෙටම (09 වැනිදා) අහමදාබාද් නුවරදී ආරම්භ වන ඕස්ටේ්‍රලියානු - ඉන්දියානු සිව්වැනි ටෙස්ට් තරගයේදී ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන්වනු ඇත. එසේ වුවහොත් ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාවම ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේදීත් ක්‍රීඩා කරනු ඇත.

“අපේ කණ්ඩායමේ සියලුම දෙනාට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා පළමු වැනි තරගය කොහොම හරි දිනන්න හැම දෙනාටම ඕනෑ” යයි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් කීවේය.  

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා මෙම තත්ත්වය ඉතාම සීරුවෙන් විශ්ලේශණය කර ඇත්තෙකි.

එංගලන්ත කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා ද වන ක්‍රිස් සිල්වර්වුඩ් මහතා, පසුගිය සතියේදී ටිම් සවුතිගේ නවසීලන්ත කණ්ඩායම විසින්, එංගලන්තය අන්ද මන්ද කරමින් එක ලකුණක තියුණු ජයක් ලබාගත් අකාරයද හොඳින් බලා සිටියේය. එහෙත් අහමදාබාද් තරගයේ තීරණය මත ශ්‍රී ලංකාවේ අවස්ථාව රඳා පවතින බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා දනී.

“ලෝක ශූරතාවලියේ අවසන් තරගයට යන්න ලැබුණොත් ඒක ඇදහිය නොහැකි අවස්ථාවක් වේවි”

“ඒත් අපි එක දෙයක් මතක තබාගත යුතුයි. අපි ඉදිරියේ ඉන්නේ ඉතාමත්ම හොඳ නවසීලන්ත කණ්ඩායමක්. ඒක අපි පිළිගන්න ඕනා. ඒ නිසා බොහෝම වෙහෙසීමෙන්, අපේ අවස්ථාව ලබාගන්න වෙනවා” යයි සිල්වර්වුඩ් මහතා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණ.
 
වත්මන් නවසීලන්ත කණ්ඩායම පසුගිය සතියේදී වසර 146 ක ටෙස්ට් ඉතිහාස පොත යළි දිගහැරියේය. ඒ පිට පිටම දෙවැනි වර පන්දුවට පහරදීමෙන් පසුව ටෙස්ට් තරගයක් ජයගත් ලෝකයේ 4 වැනි කණ්ඩායම ලෙසින් වාර්තා පොතට එක්වෙමිනි. එංගලන්ත කණ්ඩායම පසුගිය ජූනි මාසයේදී ‘බස්බෝල් ශෛලියේ ක්‍රිකට්’ ආරම්භ කිරීමෙන් පසුව මුහුණ දුන් ටෙස්ට් තරග 12 කදී ඔවුන් ලද පරාජයන් දෙකින් එකක් උරුම කර දුන්නේ ටිම් සවුතිගේ නවසීලන්ත කණ්ඩායමයි. ඉතිරි තරග 10 ම ජයගැනීමට එංගලන්තය සමත් වූයේය.

ක්‍රයිස්ට්චර්ච් නුවරදී හෙට (9 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගයට පෙර නවසීලන්තය විසින් මෙල්ල කරන ලද්දේ එවන් කණ්ඩායමකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටියට පිවිසෙන්නේ මාස 8 ක දිගු විරාමයකින් පසුවය.

“පිතිකරුවෙකුට වුණත්, හැම තිස්සේම තමන් ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ එයා (ආසන්නව පැවැති තරග වලදී) හොඳින් ලකුණු ලබාගෙන ඉන්න වෙලාවටයි. අපි මාස 8 කින් ටෙස්ට් තරගයක් සෙල්ලම් කරලා නෑ. මෙහේ ඇවිල්ලත් එක දවසකට වඩා සෙල්ලම් කරන්න බැරිවුණා. ඒක තදබල අවාසියක්”

“මේ වගේ පසුබිමක ඉඳන් ටෙස්ට් තරගයකට යනඑක විශාල අභියෝගයක්. ඒ නිසා තරගයට ගියාම, ඉක්මනින්ම පන්දුවට හුරුවෙලා, ඉක්මනින්ම ඒ විශ්වාසනීයත්වය නැවත ඇතිකරගන්න අපේ සෑම පිතිකරුවකුටම සිද්ධ වෙනවා”

“මේක කියන තරම් ලේසි නෑ.. අමාරුයි.. ඒත් ඒ අභියෝගයට මුහුණ දෙන්න අපට සිද්ධ වෙනවා” යයි ද දිමුත් කරුණාරත්න පැවසීය.

පසුගිය වතාවලට වඩා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට පැමිණ සිටින්නේ නවසීලන්ත ගිම්හානයේ අවසන් කොටසේදීය. එබැවින් නවසීලන්තයේ තණතීරු හොඳින් වියළී, තරගයක අවසන් දිනය වන විට දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වන තත්ත්වයක් තිබේ. එය ශ්‍රී ලංකා නායකයාගේ සතුටට කාරණාවකි.

“කාලගුණය නම් අපිට හිතකරයි. හිරු එළිය ඉතාම හොඳයි”

“ඒ තත්ත්වය අපට ගොඩක් හොඳයි. මොකද මීට ඉස්සරවෙලා, අපි නවසීලන්තයේදී සෙල්ලම් කළේ ගොඩාක් සීතල කාලගුණික තත්ත්වයන් යටතේ. ඒත් මේ වතාවේදී අව්ව හොඳින් තියෙන නිසා අපට තරමක් පහසුයි. මේ නිසා,  කණ්ඩායමේ 11 දෙනා තවමත් තීරණය කරලා නැති වුණත්, අපි විශේෂඥ දඟ පන්දු යවන්නකු කණ්ඩායමට එකතු කරාවි කියලා මා හිතනවා” යයි ද දිමුත් පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

“ඒ කියන්නේ ධනංජය ද සිල්වාත් එක්ක දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් සහ වේග පන්දු යවන්නන් තුන්දෙනෙක්. ඒ තමයි දැනට සැලැස්ම. ඒත් අපි තණතීරුව අයෙමත් බලන්න ඕනේ..” නායකයා වැඩිදුරටත් කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් තිදෙනා අතරට වමතින් වේග පන්දු යවන්නකු එක්වනු ඇතැයි නායකයා බලාපොරොත්තුව සිටී. එම ස්ථානය බොහෝ විට විශ්ව ප්‍රනාන්දුට හිමිවනු ඇත.

 


අදහස් (0)

තීරණාත්මක සාධකය ශක්තිමත් ඉනිම දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.