Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බ්‍රෙන්ඩන් ටේලර් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

බ්‍රෙන්ඩන් ටේලර් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

editorial - 2021 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කර ඇත‍. 2004 වසරේදී ජාත්‍යන්තර වරම් දිනාගත් ටේලර්, සිය වසර 17 ක ක්‍රීඩා දිවිය තුළ සිම්බාබ්‍වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 34 කට, එක්දින තරග 204 කට සහ විස්සයි20 තරග 45 කට ක්‍රීඩා කර ඇත.

“ඉතාමත් දුකින් වුණත් මට කියන්න සිද්ධ වෙනවා හෙට මම ක්‍රීඩා කරන්නේ මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගයට කියලා. හෙටින් මගේ ඉතාමත් දුෂ්කර වූ වසර 17 ක ක්‍රීඩා දිවිය නිමාවට පත්වෙනවා.” යැයි ටේලර් ‍ඊයේ (12 වැනිදා) ට්විටර් පණිවිඩයක් තබමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය රසිකයන්ට කියා සිටියේය.  

“රටේ ලාංඡනය පැළදගෙන ක්‍රීඩා කරන්න ලැබීම මට මහත් ආඩම්බරයක්.‍ කණ්ඩායමෙන් ඉවතට ගිය සෑම වෙලාවකම මම කෙසේ හෝ නැවතත් කණ්ඩායමට පැමිණීමට වෙහෙසුනා. ඒ වෙනුවෙන් හැකි උපරිමය ලබා දීමට මම උත්සාහ කළා. මම හිතනවා මම ඒක කළා කියලා.” යැයිද ටේලර්ගේ ට්විටර් පණිවිඩයේ සඳහන් විය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවනේ දෙවැනි වැඩිම එක්දින ලකුණු ලභියා වන ටේලර් (6677), වැඩිම එක්දින ශතක (11) ලාභී සිම්බාබ්වේ පිතිකරුවාද වේ. එක්දින ලකුණු ලාභීන් අතර ඔහුට වඩා ඉදිරියෙන් සිටින සිම්බාබ්වේ පිතිකරුවා වන්නේ ඇන්ඩි ෆ්ලවර්ය. ශතක 4 ක් සහ අර්ධ ශතක 55 ක් සමගින් ෆ්ලවර් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 6786 කි.

එක්දින තරගවලදී අර්ධ ශතක 39 ක්ද ලබාගෙන ඇති ටේලර්, තරගයකදී රැස්කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 145 කි. එහිදී 35.71 ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන සිටි ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 76.66 ක් ලෙස සටහන් වේ.
 
ටෙස්ට් තරගවලදී සිම්බා‍බ්වේ කණ්ඩායමෙ වෙනුවෙන් සිවුවැනි වැඩිම ලකුණු ලාභියා වන ටේලර් (2320), විස්සයි20 තරගවලදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව අනුව (895) පසුපසින් සිටින්නේ හැමිල්ටන් මසකඩ්සාට සහ ෂෝන් විලියම්ස්ට පමණි. ටෙස්ට් ශතක 6 කට සහ අර්ධ ශතක 12 කට හිමිකම් කියන ඔහු, විස්සයි20 අර්ධ ශතක 5 ක්ද ලබාගෙන ඇත.

2015 වසරේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවූ ටේලර්, ඉන් අනතුරුව තරග වාර 3 ක් සඳහා එංගලන්තයේ නොටිංහැම්ෂෙයර් ප්‍රාන්තයට ක්‍රීඩා කළේය. 2019 වසරේදී නැවතත් සිය ජාතික කණ්ඩායම සමග එක්වූ ‍ඔහු, එම වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියටද ක්‍රීඩා කළේය.

-036


අදහස් (0)

බ්‍රෙන්ඩන් ටේලර් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.