Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ඔලිම්පික් පිලට කොවිඩ් එන්නත අනිවාර්යයි

ශ්‍රී ලංකා ඔලිම්පික් පිලට කොවිඩ් එන්නත අනිවාර්යයි

editorial - 2021 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දින 14ක ජෛව ආරක්ෂිත බුබුලක රැකවරණ ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි කිරීමට ජාතික  ඔලිම්පික්  කමිටුව තීරණය කර තිබේ. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පුහුණුකරුවන්ට හා නිලධාරීන්ට ‘කොවිඩ්’ ප්‍රතිශක්තිකරණ එන්නත ද විද ගැනීම ද අනිවාර්ය කර තිබේ.

 

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පැවසුවේ කොවිඩ් තෙවැනි රැල්ලක සීඝ්‍ර පැතිරීමක් පෙන්වන ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියාවේ සියලු රටවලට ටෝකියෝ ඔලිම්පික්  උළෙලට සහභාගිවීමේ දී අනිවාර්යෙන් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ සත්කාරක ජපානය විසින් හඳුන්වා දී තිබෙන බවයි.  ඒ අනුව ජපානයේ ටෝකියෝ නුවරට ළඟා වන සියලුම ක්‍රීඩා කණ්ඩායම්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් පූර්ණ කොවිඩ් මාර්ගෝපදේශයට අනුගතව කටයුතු කළ යුතුය. 

 

මෙම කටයුතු විධිමත්ව කර ගැනීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් බලලත් නිලධාරියා ලෙස වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා පත්කර තිබේ. ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය අනු කමිටුවේ ද කටයුතු කරන්නෙකි.

 

ජපානයේ ටෝකියෝ නුවර දී ලබන ජුලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා සත්කාරක ජපානය මේ වනවිට අවසන් එකඟතාවකට පැමිණි තිබේ.  ඔලිම්පික් සංවිධායකයන් ඉතාමත්ම මෑතකදී ගෙන තිබෙන තීරණයක්  වන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සූදානම් කර තිබූ 1,80,000ක් වන අවසර පත් 80,000කට පමණක් සීමා කිරීමය.

 

ක්‍රීඩාතරග නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ද මුළුමනින්ම අත්හිටුවා තිබෙන අතර ඒ සඳහා නරඹන්නන් සීමිත පිරිසකට අවස්ථාව ලබා දෙන්නේ ද නැතහොත් මුළුමනින්ම නරඹන්නන්ගෙන් තොරව ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කරන්න ද යන්න පිළිබඳව එහි සංවිධායකයන් ලබන ජුනි මාසයේ දී රැස්වී තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් නියමිත සුදුසුකම් අනුව ඔලිම්පික් වරම් ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙන්ම ස්වීඩනයේද ද්විත්ව පුරවැසිනියක් වන  මැටිල්ඩා කාල්සන් පමණි. ඇය තුරඟ පැනීම් ඉසව්වෙන් තරග වදී. සුදුසුකම් නොලත් නාම ලේඛනය (වයිල් කාඩ්) යටතේ දැනටමත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් තිදෙනකු ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ වී තිබේ. කණ්ඩායම් ප්‍රධානියා ලෙස ගාමිණී ජයසිංහ මහතා සංචාරයට නම්  කළ  බව ජාතික ඔලිම්පික් කමිටුව නොබෝදා ප්‍රකාශ කළේය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ඔලිම්පික් පිලට කොවිඩ් එන්නත අනිවාර්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.