Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විලියම්සන් - සෑන්ට්නර් ඉවතට

විලියම්සන් - සෑන්ට්නර් ඉවතට

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලමිට ආබාධයක් හේතුවෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන් එංගලන්තයට එරෙහිව එජ්බැස්ටන්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගි නොවනු ඇත. ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බව පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා කීවේය. එහෙත් වමතින් වේග පන්දු යවන්නා වන ටේ‍රන්ට් බෝල්ට් මෙම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බවද පුහුණුකරුවා කීවේය.

කෙසේ වෙතත් අද දහවල් වන විට කේන් විලියම්සන් තීරණය කර තිබුණේ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවී ලබන 18 වැනිදා ආරම්භ වන ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තෝරාගැනීමටය.

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැන්න හෙට (10 වැනිදා) සදම්ප්ටන්හිදී ආරම්භ වෙයි. තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවින් මෙම තරගයේ තීරණය මත තරගාවලියේ ජයග්‍රාහකයන් හමුවනු ඇත.

විලියම්සන් මාස කිහිපයක් තිස්සේ ඔහුගේ වම් වැලමිටෙහි කණ්ඩරාවේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියේය. එහෙත් පසුගිය සතියේ ලෝඩ්ස්හි පැවති තරගයේදී නවසීලන්ත පිලට නායකත්වය දුන්නේය. කෙසේ වෙතත් මෙම ආබාධය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ බංග්ලාදේශයට එරෙහි එක්දින ජාත්‍යන්තර තරඟාවලිය මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියේ ආරම්භයද කේන්ට මඟහැරිණ.

අයි.පී.එල් තරගාවලියට සහභාගි වී ආපසු නවසීලන්තයට ගිය ටේ‍රන්ට් බෝල්ට් පසුගිය සතියේ සංචිතයට එක් වූයේය. නිරෝධායන නීතිරීති හේතුවෙන්, හුදකලාව සම්පූර්ණ කිරීමෙන් පසුව ටේ‍රන්ට් බෝල්ට් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

“ලෝක ශූරතාවලියේ අවසන් තරගයට ඉස්සරවෙලා ඔහුට තරග පුහුණුවක් ඕනා. ඒ නිසා කළ හැකි හොඳම දේ තමයි එළියට බැහැලා (මේ තරගයට ක්‍රීඩා කරමින්) ඩියුක් පන්දුව අතට අරන් ඔහුට කළ හැකිදේ පෙන්වීම” යයි නවසීලන්ත පුහුණුකරුවා පැවසීය.

නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා වැඩිදෙනාගේ අවධානයට ලක්නොවන නමුත් ඔහු නිහඬ වීරයෙකි. 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය මෙන්ම 2019 ලෝක කුසලාන අවසන් තරගය දක්වාත්, 2021 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය දක්වාත් නවසීලන්ත පිල කැඳවාගෙන ගිය ගුරුන්නාන්සේ වූයේ ගැරී ස්ටෙඩ් මහතාය.

වමතින් පන්දු යවන මිචෙල් සෑන්ට්නර් පන්දුවට දඟ කැවීම දෙන වම් අතේ දබරැගිල්ලේ පැළුමක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරයි. එබැවින් නවසීලන්තයේ දඟ පන්දු අංශය තරමක් දුර්වල වී තිබේ. එහෙත් එංගලන්තයේ බලාපොරොත්තුව වන්නේ ඕනෑවටත් වඩා සිටින වේග පන්දු යවන්නන්ගෙන් වැඩක් ගැනීමටය.

එංගලන්තය සහ නවසීලන්තය අතර හෙට (10 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා දිනයකදී නරඹන්නන් 18,000 ක් ගෙන්වාගැනීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට අවසර දී තිබේ. එහෙත් එංගලන්තයේදී නැවතත් පැතිර යන කොවිඩ්-19 තුන්වැනි රැල්ල හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නව සීමාවන් පැනවීමට ඉඩ තිබේ.


- 213

 


අදහස් (0)

විලියම්සන් - සෑන්ට්නර් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.