Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හර්ෂිතා - විෂ්මි වෙනුවට අනුෂ්කා - තාරිකා
කාන්තා ලෝක කුසලාන තේරීමේ තරගාවලිය

හර්ෂිතා - විෂ්මි වෙනුවට අනුෂ්කා - තාරිකා

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අලූතින් ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත් කිරීමට තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. තරගාවලිය සඳහා දිවයිනෙන් නික්ම යෑමෙන් අනතුරුව කොවිඞ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් ක‍්‍රීඩිකාවන් තිදෙනාගෙන් දෙදෙනකු වෙනුවට මෙම ආදේශ කිරීම සිදුකර තිබේ.

මේ වන විට කොවිඞ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින උප නායිකා හර්ෂිතා සමරවික‍්‍රම සහ විෂ්මි රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කොට ඔවුන් දෙදෙනා වෙනුවට අනුෂ්කා සංජීවනී සහ තාරිකා සෙව්වන්දි ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත. කඩුලූ රකින්නියක වන අනුෂ්කා සහ වමතින් මඳ වේග පන්දු යවන්නියක් වන තාරිකා මින් පෙර සිටම අතිරේක ක‍්‍රීඩිකාවන් ලෙස ශ‍්‍රී ලංකා සංචිතය සමග පුහුණුවීම්වල නිරත වෙමින් සිටියහ.

සංචිතයට කැඳවීමත් සමග ඔවුන් දෙදෙනාම අද (24වැනිදා) නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියොජනය කළහ. එම තරගයේදී ශ‍්‍රී ලංකා ඉනිමේ 6 වැනි ස්ථානයේ පන්දුවට පහරදුන් අනුෂ්කා හතරේ පහර 5 ක් සමග පන්දු 47 කින් ලකුණු 32 ක් රැස්කළාය. කඩුල්ලක් දවාගැනීමට අසමත් වුවද, තමා යැවූ  ඕවර 6 ලකුණු 25 කට සීමා කිරීමට තාරිකා සමත් වූවාය.

නෙදර්ලන්ත තරගයට පෙර සිදුකරන ලද පරීක්ෂණයකදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක‍්‍රීඩිකාවකට කොවිඞ්-19 වයිසරය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කොවිඞ් ආසාදිත ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් සිවුදෙනාම මේ වන විට කණ්ඩායමෙන් ඉවත්ව නිරෝධායනයට ලක් වෙමින් සිටිති.

ඉකුත් ඉරිදා (21 වැනිදා) කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් තිදෙනකු කොවිඞ් අසාදිත බවට හඳුනාගනු ලැබිණ.

‘ඒ‘ කාණ්ඩය යටතේ තරග වදින ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරග දෙක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ මස 27 වැනිදාද, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව 29 වැනිදාද පැවැත්වීමට නියමිතය.  

ශී‍්‍ර ලංකා කණ්ඩායම සමගින් කී‍්‍රඩිකාවන් 22 දෙනකු සංචාරයට එක්ව සිටින අතර අතිරේක කී‍්‍රඩිකාවෝ පස්දෙනෙක් එහි සිටිති. කොවිඞ් අසාදිත අනෙක් කී‍්‍රඩිකාවන් දෙදෙනා සඳහාත් ආදේශ කී‍්‍රඩිකාවන් ඉල්ලා තිබේ.

 


අදහස් (0)

හර්ෂිතා - විෂ්මි වෙනුවට අනුෂ්කා - තාරිකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.