Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට

editorial - 2021 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා විකල්ප ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගැනීම පිළිබඳවද සාකච්ඡා වෙමින් තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සමග නිල නොවන ආකාරයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. එහෙත් එම සාකච්ඡා නිල නොවන මට්ටමේ, සුහද සාකච්ඡා මිස නිල වශයෙන් කළ සාකච්ඡා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය. එබැවින් ලෝක කුෂලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධව පැහැදිලි පිළිතුරක් දීමට නොහැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති.

මේ වනවිට ඉන්දියාවේ පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමගින් මේ වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එමිරේට්ස් ක්‍රීකට් මණ්ඩලය අතර සාකච්ඡා පවත්වා ඇත. නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.

කෙසේ නමුත් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුවහොත්, තරගාවලියේ තණතීරු ඉතාමත් මන්දගාමී වීමට වැඩි ඉඩකඩක් පවතී. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර, පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය මෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියද එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඊට හේතුවනු ඇත.

පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ තරග 20 ක් අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තවත් තරග 31 ක් ඉතිරිව තිබේ. මෙම තරග අබුඩාබී, ඩුබායි සහ සාජා හිදි පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම එක දිනයකදී තරග 2 ක් පැවැත්වීම නිසා තණතීරුව කඩුතොලු වීමට වැඩි ඉඩක් පවතී.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලබාගැනීමේ තරග ඇතුළුව තරග 45 ක් පැවැත්වීමට නියමිතව ඇත. සුදුසුකම් ලබාගැනීමේ තරග 12 ක් ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වීමට සූදානම් කර තිබුණද සුපිරි කණ්ඩායම් 12 අතර තවත් තරග 33 ක් අබුඩාබී, ඩුබායි සහ සාජා හිදි පවත්වනු ඇත. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සුපිරි කණ්ඩායම් 12 අතරට එක්වන කණ්ඩායම් 4 ට අමතරව ඉතිරි කණ්ඩායම් 8 අතර පුහුණු තරගද පැවැත්වෙනු ඇත.

ඒ අනුව මාස 4 කට ආසන්න කාලයකදී අබුඩාබී, ඩුබායි සහ සාජා හි ක්‍රීඩාංගණ වලදී තරග 90 කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට සිදුවීම නිසා ඒවායින් තණතීරු වලට වන බලපෑම විශාලය.

එසේ වුවත් ශ්‍රී ලංකාවේදී තරගාවලිය පැවැත්වෙන්නේ නම් තරගාවලියේ වැඩි උද්වේගය පවත්වා ගැනීමේ හැකියාවක් ඇත. කොළඹ නගරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක්ම (ආර්. ප්‍රේමදාස, එස්.එස්.සී. සහ පී. සරවනමුත්තු) ඇති අතර ගුවන් ගමන් නොමැතිව පැය කිහිපයකින් ළඟා විය හැකි තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 4 ක් (දඹුල්ල, පල්ලෙකැළේ, ගාල්ල සහ සූරියවැව) කොළඹින් පිටත තිබේ. ඊට අමතරව මොරටුව ද සොයිසා, එන්.සී.සී, සී.සී.සී, කුරුණෑගල වෙළගෙදර සහ මග්ගොන සරේ විලේජ් යන ක්‍රීඩාංගණද පුහුණු තරග පැවැත්වීමට සුදුසු මට්ටමේ ඇත.

තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙන්නේ නම්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජුනි 15 වැනිදා වන  විට විට බදු නිදහස් කිරීමේ ඇපකරය ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුසලානය ඉන්දියාවේ පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව ස්ථාවර ප්‍රකාශයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ජුනි 28 වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට දිය යුතුය.

තරගාවලිය වෙනත් රටකට ගෙන ගියද, විස්සයි20 ලෝක කුසලානයේ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල විසින් රඳවා ගන්නා බව මීට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවසීය.

 


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.