Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football විශේෂ මහා සභා රැස්වීමට සියලුම ලීගවලට කැඳවීමක්

විශේෂ මහා සභා රැස්වීමට සියලුම ලීගවලට කැඳවීමක්

editorial - 2022 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද (11) පෙරවරු 10ට කැඳවීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීම සඳහා එහි සාමාජිකත්වය දරන සියලුම ලීගවලට ආරාධනා කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව අද විශේෂ මහ සභාවට කැඳවීම් ලබා තිබෙන ලීග ගණන 67කි. කෙසේ වුවත් පාපන්දු ආයතනයේ පැවැති විධායක සභාව  නිල වශයෙන් පිළිගත් ලීග ගණන 62කි. ලීග පහක ක්‍රියාකාරිත්වය හා පිළිගැනීම පිළිබඳ තෛනික ගැටලු පැන නැගීම තුළ ඔවුන් අවසන් වරට පසුගිය සැප්තැම්බර් 21 වැනිදා වත්තලදී පැවැති පාපන්දු ආයතනයේදී  විශේෂ මහ සභා රැස්වීමට කැඳවීම් ලැබුවේ ලීග 62ක් පමණි.

අද පැවැත්වෙන විශේෂ මහ  සභා රැස්වීමේදී අරමුණ වන්නේ පාපන්දු ආයතනයේ කැඳවීමට අපේක්ෂිත මීළඟ නිලවරණය (2022.23) මෙහෙයවීම සඳහා නිලවරණ කමිටුවක් පත්කර  ගැනීමය. එය බොහෝ විට ත්‍රිපුද්ගල කමිටුවකි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණයෙන් යුතුව කැඳවෙන විශේෂ මහ සභාවේ න්‍යායපත්‍රය නිලවරණ කමිටුව නිර්දේශ කර ගැනීමට පමණක් සීමාවේ. එහිදී නාමයෝජනා අනුමත කර ගැනීමෙන් කමිටුව පත් කර ගන්නා අතර එතැන් සිට එයට පැවරී තිබෙන ප්‍රධානතම කාර්ය වන්නේ නිලවරණයට දිනයක් නියම කර ගැනීමයි.

අභියාචනාධිකරණයේදී ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා විභාග කර නිමාවට පත් කළ නඩුවේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ (වගඋත්තරකාර) පාර්ශ්වය වෙනුවෙන්  පෙනී සිටිමින් කියා සිටියේ එදින සිට ඉදිරි දින 69ක කාලයක් තුළදී ඊළඟ පාපන්දු නිලවරණය (2022-23) පවත්වා අවසන් කරන බවයි.

ඒ අනුව පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය ලබන ජනවාරි 5 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව ඇත. පාපන්දු ආයතනයේ සභාපති ධුරය  දැරූ ජස්වර් උමාර් මහතා අභියාචනාධිකරණයේ පැවරූ නඩුවක් ඊට පාදක විය.

ඒ (2020) ජාතික ක්‍රීඩා සංගම් නිලවරණය පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් සහන කාලය අවලංගු කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමිනි.

පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්මත කළ බව පැවසෙන පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය ගැනත් එහිදී ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇත්තේ ඒ වනවිටත් නිලවරණ පැවැත්වීමට ලබාදුන් සහන කාලය අවලංගු කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්ව තිබූ බැවිණි.

හිටපු සභාපති ජස්වර් උමාර් මහතා  යළිත් සභාපති ධුරයට නාමයෝජනා බාර දෙන බව දැනටමත්  ප්‍රකාශ කර තිබේ. අවසන් වරට 2021 ජුනි 30 වැනිදා පැවැති නිලවරණයේදී ඔහු හා තරග වැදුණු වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා නැවත සභාපති ධුරයට තරග වැදීම ගැන මෙතෙක් පැහැදිලි අදහසක් ඉදිරිපත් කර නැත.

කළුතර පාපන්දු ලීගයේ වත්මන් සභාපතිවරයාද වන පාපන්දු ආයතනයේ යොවුන් ප්‍රවර්ධන හා වෛද්‍ය යන අනු කමිටු දෙකක සභාපති  ධුරයද දරා ඇති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා සභාපති ධුරයට තරග වැදීම සම්බන්ධයෙන් වෙනස් අදහසක් දරන්නේ නම් එම පාර්ශවයෙන් සභාපති ධුරයට වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මේ වනවිටත් සාකච්ඡා වී ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

තත්ත්වය මෙසේ තිබියදී නිදහස් මාවතේ පිහිටි  ශ්‍රී ලංකා පාපන්දු ආයතනය (පාපන්දු නිවසේ) පරිපාලන කටයුතු මෙහෙයවීම ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් මේ වනවිට කළමනාකරණ කමිටුවකට තාවකාලිකව පවරා තිබේ.

ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයේ දැන් උද්ගත වී තිබෙන හදිසි තත්ත්වය ​ෙම් වනවිට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු  පාපන්දු සමුළුවට පසුබිම් නිරීක්ෂණය කරමින් සිටින බවද වාර්තාවේ.


අදහස් (0)

විශේෂ මහා සභා රැස්වීමට සියලුම ලීගවලට කැඳවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.