Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජාතික පාපන්දු පුහුණුකරු මොරිසන්

ජාතික පාපන්දු පුහුණුකරු මොරිසන්

editorial - 2022 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු පුහුණුකරු ධුරය බාරගැනීම සඳහා එංගලන්ත ජාතික ඇන්ඩෲ මොරිසන් මහතා අනිද්දා (13) දිවයිනට ළඟාවීමට නියමිතය. ඒ සමග ජාතික සහාය පුහුණුකරු ධුරයට නිර්දේශ කර සිටින ඕස්ට්‍රේලියානු ජාතික කීත් ස්ටීවන් මහතා ද ඉදිරි දින කීපයක් තුළදී ශ්‍රී ලංකාවේ සේවය සඳහා දිවයිනට ළඟාවීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටාර් රාජ්‍ය සමග පැවති සාකච්ඡාවලින් පසුව එරට පූර්ණ අනුග්‍රහයෙන් මෙරට විදේශීය වෘත්තීය පාපන්දු පුහුණුකරුවන් දෙදෙනාගෙන් සේවය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

කටාර් ‘අස්ෆයාර්’ පාපන්දු ඇකඩමිය ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකර තිබේ. වේල්සයේ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩා සමාජ කීපයකම පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති මොරිසන් මහතා ‘මැන්චෙස්ටර් සිටි’ හා ක්‍රිස්ටල් පැලස් යන එංගලන්ත ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රමුඛතම කණ්ඩායම් දෙකේ ක්‍රීඩා කර තිබේ.

සහායක පුහුණුකරු කීත් ස්ටීවන් මහතා ඕස්ට්‍රේලියානු ජාතිකයකු වුවත් ඔහු එංගලන්ත පාපන්දු ලීගයේ ක්‍රීඩා කළ වෘත්තීමය ක්‍රීඩකයෙකි.

මේ අතර ජස්වර් උමාර් මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ ශ්‍රී ලංකා පිලේ ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ධුරය සඳහා ද විදේශීය පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීම සඳහා අයැදුම්පත් කැඳවා අවසන් බවයි. එහිදී නිර්දේශිත අයැදුම්පත් දෙකක් කෙරෙහි පාපන්දු ආයතනයේ අවධානය යොමු වී ඇතැයි පැවසූ ඔහු ඉන් සුදුස්සා නුදුරේදීම ශ්‍රී ලංකා දැල් රකින්නන්ගේ පුහුණුකරු ධුරයට පත්කර ගන්නා බව පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ශාරීරික අභ්‍යාස පුහුණුකරු ලෙස දැනටත් ශ්‍රී ලංකාවේ ගත කරන බ්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරු මාකෝස් පෙරෙයිරා මහතාට පත්වීම් ලබාදීමට තීරණය වී තිබේ.

ඔහු පසුගිය දිනවල ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බැලූ අතර වසර 2000-2004 කාල සීමාවේදී මෙරට ප්‍රධාන පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවට ආගන්තුකයකු නොවන්නෙකි.

ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පැවසුවේ ජාතික පාපන්දු කණ්ඩායමට එකවර විදේශීය පුහුණුකරුවන් සිව් දෙනකුගේ සේවය ලැබෙන පළමු අවස්ථාව මෙය බවයි.
“ඇත්ත වශයෙන්ම එය වඩාත්ම සතුටු විය හැකි කාරණයක්. මොකද ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සතයක්වත් මේ අයට වැය වෙන්නේ නෑ. අවුරුදු තුනක කාලසීමාවක් සඳහා ඔවුන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න කටාර් රාජ්‍ය මට එකඟතාව පළ කළා.” යයි ද එහිදී ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා පැවසීය.

මේ අතර ආසියානු කුසලාන දෙවැනි සුදුසුකම් තරග වටයට සූදානම් වන ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ මූලික පුහුණුවීම් නව ඉංග්‍රීසි පුහුණුකරුවා මෙරටට පැමිණීමත් සමග පිටකෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

 එසේ වුවත් රට තුළ උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වයන් පහව නොයන්නේ නම් ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් මෙම මැයි මාසය අවසන් භාගයේ සිට කටාර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සැලසුම් කර තිබේ.

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භයට ආසන්නතම කාරණාව වන්නේ ජුලි 8, 11 හා 11 යන දිනවල උස්බෙකිස්ථානයේදී පැවැත්වෙන ආසියානු කුසලාන (2023) තෙවැනි නිර්දේශිත කරන වටයට ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතව තිබෙන බැවිනි.

එකී දින තුනේදී පිළිවෙළින් සත්කාරක උස්බෙකිස්ථානය, තායිලන්තය හා මාලදිවයිනට එරෙහිව ශ්‍රී ලංකාව තරග තුනකට සහභාගි වේ.

නව ජාතික පුහුණුකරු ඇන්ඩෲ මොරිසන් මහතා 52 හැවිරිදි වියේ පසුවේ. සහාය පුහුණුකරු කීත් ස්ටීවන් මහතාගේ දැන් වයස 41කි. මෙතෙක් ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු ධුරය දැරූ බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා වසර දෙකක සේවයකින් පසුව නොබෝදා ශ්‍රී ලංකාවෙන් සමු ගත්තේය.

සහාය පුහුණුකරු කීත් ස්ටීවන් මහතා


අදහස් (0)

ජාතික පාපන්දු පුහුණුකරු මොරිසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.