Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේමාර්ට මීළඟ තරගය අහිමි වෙයි
කටාර් - 2022

නේමාර්ට මීළඟ තරගය අහිමි වෙයි

editorial - 2022 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඒ.එෆ්.පී. ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

සර්බියාවට එරෙහිව බ්‍රසීලය ලබාගත් ජයග්‍රහණයේදී පාදයේ වළලුකර ඇඹරීයාම නිසා බ්‍රසීල නායක නේමාර් බ්‍රසීලයේ මීළඟ ලෝක කුසලාන තරගයෙන් ඉවත් වනු ඇති බව කණ්ඩායම් වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. නේමාර්ගේ ආබාධය තරමක් බරපතළ වන බැවින් අවසන් 16 දෙනාගේ වටය හෙවත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වන තුරුම නේමාර් නැවතත් පිටියට නොඑනු ඇතැයි ද වාර්තා වේ.
 
බ්‍රහස්පතින්දා පැවැති ලෝක කුසලාන තරගයේදී සර්බියාවට එරෙහිව ගෝල 2-0 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත් වූයේය. එහෙත් එම තරගයේදී ගෝල ලබාගැනීමට නේමාර්ට නොහැකි විය.

බ්‍රසීලය මෙම තරගය ජයගත්තේ රිචාලිසන් ලබාගත් විශිෂ්ට ගෝල දෙකකිනි.

මෙම තරගයේදී නේමාර් හොඳින් ක්‍රීඩා කළද, සර්බියාවේ නිකොල් මිලෙන්කොවික් සමඟ ගැටීමෙන් ඔහුගේ පාදයේ අස්ථි කොටස්වලට හානි වී තිබේ. අනතුරෙන් පසුව වුවද දිගටම තරගයේ යෙදීමට නේමාර් උත්සාහ කළ නමුත් තරගය නිමා වීමට මිනිත්තු 10 ක් පමණ තිබියදී බ්‍රසීල කණ්ඩායමට ආදේශකයකු කැඳවීමට සිදුවිය.

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ වෛද්‍ය රොඩ්රිගෝ ලස්මාර් පැවසුවේ සඳුදා ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය නේමාර්ට අහිමි වනු ඇති බවයි. කෙසේ වෙතත්, බ්‍රසීලයේ ක්‍රීඩා රූපවාහිනී නාළිකාවක් වාර්තා කළේ දෙසැම්බර් 2 වන දින කැමරූන් සමඟ පැවැත්වෙන අවසන් තරඟය සඳහාත් ඔහු ක්‍රීඩා නොකරන නමුත් පිළිමළුන් පිටුදැකීමේ අදියරට බ්‍රසීලය පැමිණියහොත් නැවතත් කණ්ඩායමට එක්වනු ඇති බවයි.

“අද මගේ ක්‍රීඩා දිවියේ දුෂ්කරම අවස්ථාවන්ගෙන් එකක්.. ආයෙමත් ඒක ලෝක කුසලාන තරගාවලියක” යනුවෙන් නේමාර් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබා තිබිණ.

“මට ආබාධයක් තියෙනවා”

“ඔව්, ඒක කරදරයක් තමයි.... ඒක රිදෙනවා. නමුත් මට ආපහු එන්න අවස්ථාවක් ලැබෙන බව මට විශ්වාසයි... මොකද මම මගේ රටට සහ මගේ කණ්ඩායමේ සගයන්ට උදව් කරන්න, මම මගේ උපරිමය කරනවා” යයි නෙමාර් එහිදී වැඩිදුරටත් ලියා තිබිණ.
මේ අතර වළලුකර ආබාධයක් හේතුවෙන් දකුණු අන්තයේ ක්‍රීඩක ඩැනිලෝට ද බ්‍රසීලයේ දෙවැනි තරගය අහිමි වනු ඇත.

“අපගේ මීළඟ තරගය සඳහා මෙම ක්‍රීඩකයන් දෙදෙනා නොසිටින නමුත් ඉතිරි තරගය සඳහා නියමිත වේලාවට සුවය ලැබීමේ අරමුණින් ඔවුන් දිගටම ප්‍රතිකාර ලබාගෙන යනවා” යයි කණ්ඩායමේ වෛද්‍යවරයා පැවසීය.

හයවැනි වතාවටත් ලෝක කුසලාන දිනාගැනීම සඳහා වන බ්‍රසීලයේ උත්සාහයට නායකත්වය දීමට නේමාර් නැවත පැමිණෙනු ඇතැයි පුහුණුකරු ටයිට් පවසයි.

ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු වන නේමාර්ගේ වෘත්තීය ජීවිතයට ශාරීරික ආබාධ වලින් බොහෝ අවහිරතා පැමිණ තිබේ.

2014 ලෝක කුසලාන තරගාවලියේදී කොලොම්බියාවට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේ ජයග්‍රහණයේ දී ඔහු පිට කොන්දේ අස්ථි බිඳීමකට ලක් විය. ඊළඟ තරගයේදී සත්කාරක බ්‍රසීල කණ්ඩායම ජර්මනිය හමුවේ ගෝල 7-1 ක් දරුණු පරාජයකට මුහුණ දුන්නේය.

වසර 2018 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු නියමිත වේලාවට කණ්ඩායමට එක්විය. එහෙත් අවසන් 8  දෙනාගේ වටයේදී බෙල්ජියම හමුවේ බ්‍රසීලය පරාජය විය. නේමාර්ගේ දකුණු වළලුකරේ අස්ථි බිඳීමක් හේතුවෙන් 2019 කෝපා ඇමරිකා තරගාවලියද ඔහුට අහිමි විය.

බ්‍රසීලය වෙනුවෙන් අන්තර්ජාතික තරග 122 ක් ක්‍රීඩා කර ඇති නේමාර් මෙවර කටාර් වෙත පැමිණියේ ප්‍රංශ පාපන්දු තරගාවලියේදී පැරීසියේ ශාන්ත ජර්මේන් පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින්, තරඟ 20 කදී ගෝල 15 ක් ලබාගැනීමෙන් පසුවය. නේමාර්ගේ තුන්වැනි සහ ඇතැම්විට අවසන් ලෝක කුසලාන තරගාවලියද මෙය විය හැකිය.
 
බ්‍රසීලය වෙනුවෙන් අන්තර්ජාතික ගෝල 77 ක් ලබාගනිමින් පේලේ විසින් පිහිටුවන ලද වාර්තාව සම කිරීමට නේමාර්ට අවශ්‍ය වන්නේ තවත් ගෝල දෙකක් පමණි.


අදහස් (0)

නේමාර්ට මීළඟ තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.